අතේ තියෙන මුදලින් ජයටම අවුරුද්ද සමරමුද?

සිංහල දමිළ අලුත් අවුරුද්ද අත ළඟ. පරිසරය වෙනස් වෙනවා. මල් පිපෙනවා. ඵල වලින් තුරු හිස සැරසෙනවා. සැම ගසක්ම වගේ නව සළු පිළියෙන් සැරසිලා. කුරුල්ලන් සහ නේක සතුන් සතුටින් ප්‍රබෝදයෙන් යුතුව පරිසරයේ හැසිරෙනවා. මේ සියලුම වෙනස්කම් සිදුවන්නේ පරිසරයේ. මිනිසාත් පරිසරයේ කොටසක්.ඉතින් මේ නැවුම් බව,මේ වෙනස්කම් සමඟ අපත් වෙනස් විය යුතුයි නේද ?

අවුරුද්ද කලින්ම සැලසුම් කලොත් ඔබේ කාලය සහ මුදල් වඩාත් කාර්යක්ෂමව හැසිරවීම මඟින් මෙවර වෙනදාටත් වඩා සතුටින් යුතුව අවුරුදු සමරන්න ඔබට හැකි වේවි.ඒ කියන්නේ සැලසුම් සහගත බව නිසා සතුටින් පිරී ඉතිරෙන අවුරුද්දක් සමරන්නට ඔබට මෙවර ඉඩ හසර සලසා දෙන්නටයි අපගේ මේ සූදානම.

1. මුලින්ම අපි තීරණය කරමු අපිට අවුරුදු සමරන්නට කොපමණ මුදලක් වෙන් කරන්නට පුලුවන්ද කියලා. මෙය පවුලේ සෙසු සාමාජිකයන්ගේත් අදහස් අවශ්‍යතා සැලකිල්ලට ගෙන තීරණය කිරීම වඩාත් සුදුසුයි.

2. අවශ්‍යතා ලැයිස්තුවකට ගන්න. ඇඳුම් පැළදුම්, තෑගී බෝග, ගමන් බිමන්, කැවිලි, නිවාස අලුත්වැඩියා කිරීම් ආදි ඔබ තෝරා ගන්නා සියල්ලම සටහන් කරගන්න.

3. කාල සටහනක් සාදා ගන්න. හදිසියේ මඟ හැරෙන වැඩ සඳහා අමතර කාලයක් වෙන් කරගන්න.

4. වගකීම් පවුලේ සියලු දෙනා අතරම බෙදී යන ලෙස කාල සටහන සකස් කරගන්න. කුඩාම සාමාජිකයාටත් වගකීමක් ලැබෙන ලෙස එය සකස් කරන්න.

5. නෑදෑ හිත මිතුරන්ගේ නිවෙස් වලට යන දිනයන් කලින්ම වෙන්කරගන්න. එදිනට ඔබ පැමිණෙන බව කලින්ම ඔවුන්ට දන්වන්න. එය දෙපිරිසගේම කාලය ඉතිරි කරන්නක් වන නිසා සහ ඔබගේ කාල කළමනාකරණයට එය බලපාන නිසා.

6. රෙදි පිළි පවුලේ අයට අවැසි ප්‍රමාණයට පමණක් මිලදී ගන්න. සේල් වලට රැවටී අනවශ්‍ය දෑ මිලදී ගැනීමෙන් වලකින්න. නිතරම ගුණාත්මක බවට මුල් තැන දෙන්න. ඒ වගේම අත ඇති මුදල පිලිබඳ නිරන්තරයෙන් සැළකිලිමත් වන්න.

ඉතින් මේ සියල්ලම සමඟ ඔබට සුබම සුබ සාර්ථක අලුත් අවුරුද්දක් සමරන්නට හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙන බවට කිසිදු සැකයක් නැහැ.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles