රැවටුනු හිත්

මනීශා ,රවිඳු එක්ක ඇඳුම් විලාසිතාගාරය පුරාම ඇවිද්දා.විවිධ වූ විලාසිතාවල ඇඳුම් රවිඳුට පෙන්වමින් මනීශා හොඳ නොහොඳ විමසුවේ තමන්ටත් වඩා හොඳට රවිඳු තමන්ට ඇඳුම් තෝරන බව දන්න නිසා

” මේ පාටවල් දෙක මැච් වෙනවද රවිඳු ? “

” නෑ අනේ. ඔය රතු බ්ලවුස් එක වෙනුවට නිල් එක ගන්න.ඒ පාටවල් ඔයාට ලස්සනයි “

පෙම්වතිය එක්ක සාප්පු සවාරි යාම ප්‍රතික්ෂේප කරන පෙම්වතුන් අතරේ තමන්ට සහයෝගය දෙන පෙම්වතෙක් ඉන්න එක මොන තරම් හොඳද කියල මනීෂාට හිතුනා

” අපි ඔයාටත් අලුතෙන් shirts ගමු රවිඳු “

එහෙම කියපු මනීෂා රවිඳුත් එක්ක පිරිමි අය වෙනුවෙන් ඇඳුම් තියන කොටසට ගියේ උනන්දුවෙන් වටපිට බලමින්. ඒ අතර අහම්බෙන් දැක්ක කෙනෙක් ලග මනීෂා ගේ ඇස් නතර වුණා

” සචින්ත “

මනීෂා රවිඳුගේ අත තද කරලා අල්ල ගත්තා.සීතලවුණ මනීෂා ගේ දෑත් වල මොකක්දෝ අමුත්තක් රවිඳුටත් දැනුනා.ඒකට හේතුව රවිඳුට දැකගන්න ලැබුණේ ටිකක් වටපිට බලනකොටයි

” අපි යමු මනීෂා. මට පස්සේ ඇඳුම් ගමු “

ඉතා සන්සුන් හඬකින් එහෙම කියපු රවිඳු මනීෂා ගේ ඇඳුම් වලට මුදල් ගෙවලා ඇයව ඉක්මනින් ඇඳුම් ඇඳුම් විලාසිතාගාරයෙන් එලියට එක්කගෙන ආවා

හිත රිදුනු අතීතයක් ආයෙ හිත ඇතුළට එබිකම් කරනවා වගේ මනීෂාට දැනෙද්දි රවිඳු නිහඬවම වාහනය ධාවනය කලා

” ලබන සතිය ඔෆිස් එකේ get-together එකක් තියෙනවා.ඒකට ඇදුමක් ගන්න යන්න ඔයා එනවද සචින්ත මාත් එක්ක ? “

දවසක් මනීෂා හවස ගෙදර යන ගමන් සචින්ත ගෙන් ඇහුවේ ඇඳුම් ගන්න යන්න තියන උවමනාවටත් වඩා , සචින්ත එක්ක කාලය ගත කරන්න තියෙන උවමනාවටයි

” අපෝ මට තේරෙන්නේ නැහැ ගෑනුන්ට ඇඳුම් තෝරන්න. අනිත් එක ඉතින් ඔයාලා ඇඳුම් තෝරන්න ගියාම පැය ගණන් ගන්නවනේ.මට බැහැ රස්තියාදු වෙන්න “

එහෙම කියපු සචින්ත නොරිස්සුමෙන් අහක බලාගත්ත හැටි මනීෂාට මතක් උනා.

” මම දැක්කා ඊයේ කපල් එක ගෝල්ෆේස් එක ගාව ඉඳලා බයික් එකේ ජෝඩු දාලා යනවා “

මනීෂා ගේ කාර්යාලයේ මිතුරියක්වුන සචිනි උදේ පාන්දරක ඇවිත් කිව්වේ හිනාව පිරුණු බැල්මකින් මූණ සරසගෙනයි

” මොන ජෝඩුවද සචිනි ? “

මනීෂාගේ හඬේ තැවරිලා තිබුනෙම කුතුහලය

” මම දැක්කා ඔයායි සචින්තයි ගෝල්ෆේස් එක ගාව ඉඳලා යනවා හවස . මම භානුකටත් පෙන්නුවා “

” අපි ඊයෙ ගෝල්ෆේස් ගියේ නැහැනේ සචිනි.ඔයා අපි කියල වෙන කාටහරි රැවටෙන්න ඇත්තේ. ඊයෙ මට සචින්ත ව හම්බුනේ වත් නැහැ අනේ “

සචිනිගෙ මුහුණ අමුතු වෙලා ගියත් මනීෂා ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ. ” galle face ගිහින් අව්වෙ කට්ට කන්න බැහැ ” කියන සචින්ත වැරදීමකින් හෝ එහි නොයන බව මනීෂා විශ්වාස කළා

” අපේ සචිනි ඊයේ ගෝල්ෆේස් එක ගාවදි අපි කියලා වෙන කාටද රැවටිලා “

හවස සචින්තව මුණ ගැහුන වෙලාවේ මනීෂා කිව්වෙ හිනා වෙමින්.

” ම..මම ? පිස්සුද ? ඔයත් ඉතිං ඒ කතාව විශ්වාස කරාද ? “

” අයියෝ නැහැ සචින්ත. ඔයා ඊයෙ තාත්තා එක්ක ගමනක් යනවා කිව්වනේ “

” ඔයාගේ යාළුවො හදන්නේ අපි දෙන්නව කොටවන්න ද කොහෙද “

සචින්ත කතා කළේ පුරුදු නොරිස්සුමෙන් මයි.

” අනේ එහෙම එකක් නැහැ.සචිනි හරි හොඳ ළමයෙක්. එයා ඉතින් අපි වගේ දැක්ක නිසා තමයි කියන්න ඇත්තේ “

මනීෂා සමාව අයදින්න වගේ එහෙම කිව්වත් සචින්තගේ නොරිස්සුම පහව ගියේ නැහැ

” කවුද අනේ මේ ෆේස්බුක් එකේ ඔයාගේ ෆොටෝ වලට හැම වෙලාවෙම හාට් comment දාන කෙල්ල ?

මනීෂා දුරකථන තිරයේ ඇඟිලි තුඩු එහා මෙහා යවන ගමන් සචින්ත ගෙන් ඇහුව හිනාවෙමින්

” ඒ පාර තමුසේ මාව සැක කරන්න පටන් ගත්තද ? “

” මොකද්ද සචින්ත ඔයාට වෙලා තියෙන්නේ ? නුහුරටමනේ කතා කරන්නේ.මම නිකන් ඇහුවේ දැක්ක නිසා “

ඉතා කුඩා දෙයටත් කෝප ගන්නෙකු වන සචින්ත නිසා මනීෂා ගේ හිත බොහෝ වෙලාවට රිදුනත් ඇය ඒ බොහෝ තැන්වලදී ඉතා ඉවසීමෙන් හිටියා.

” හෙලෝ.. මේ මනිශා ද ? “

දවසක් නාදුනන දුරකථන අංකයකින් ආව ඇමතුමට පස්සේ මනීෂාට සචින්ත ගැන තියෙන බලාපොරොත්තු අත් හරින්න සිද්ධ උනේ නොහිතපු විදියට.

” තමුසේ එක එකාගේ බොරු අහලා මාව කන්න හදන්න එපා මෙතන “

මනීශා හඬා වැටෙමින් සචින්තගෙන් කරුණු අහනකොට සචින්තගේ පිළිතුර උනේ ඒක.ඒත් සචින්ත කියන්නේ තවත් තරුණියකගේ පෙම්වතෙක් කියලා සාක්ශි සහිතවම ඔප්පු උනාට පස්සේ මනීෂාට අකමැත්තෙන් උනත් ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කරන්න උනා.

” එදා මම දැක්කේ සචින්තවමයි කියලා මට සීයට දාහක විශ්වාසයක් තිබුනා මනීෂා. ඔයා කලබල වෙයි කියලයි මම ඒ ගැන වැඩිය නොකිව්වේ “

කාර්‍යාලයේ වැඩ පවා අතපසු කරගනිමින් වරින් වර හඬා වැටෙන මනීෂාට සචිනි කිව්වේ සංවේගය මුසු උන පසුතැවීමෙන්. කලින්ම අනතුරු ඇඟෙව්වා නම් මනීෂාට මීට කලින් ඇත්ත තේරුම් ගන්න තිබුනා කියන හැඟීම සචිනිට දැනුනා.

ළද බොළඳ පෙම්වතියක් වගේ හඬාවැටෙමින් මනීෂා, තමන් රැවටුන වේදනාව වින්දේ නිරාහාරව දවස් ගත කරමින්.ගතින් වගේම හිතිනුත් දුර්වල වීගෙන යන මිතුරියට වහාම උදවු අවශ්‍යයි කියලා තේරුම් ගත්ත සචිනි මනීෂාට උදවු කරන්න ඉදිරිපත් උනේ මනීෂාගේ පවුලේ සහයෝගයත් ඇතිව.

” මම ඔයා ආස කෑමක් ගෙනාවා “

සචිනි දවල් කෑම වෙලාවේදි සුවඳ හමන පොළොස් ඇඹුලක් මනීෂා ඉදිරියෙන් තිබ්බා

” ඔයා මං නිසා ගොඩක් මහන්සි වෙනවා සචිනි “

හිතවත්කම් යනු සතුටේදි වඩා දුකේදි ලඟ ඉන්න බැඳීම් බව සචිනි මනීෂාට ආදරයෙන් වටහා දුන්නා. මනීෂාගේ බිඳුනු හදවත සුවපත් වෙන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වෙද්දි සචිනිගේ ළගම මිතුරෙක් උන රවිඳු මනීෂාට ආදරණීය යෝජනාවක් ගෙන ආවේ සචිනිගේ මාර්ගයෙන්.

” මනීෂා හිටපු තත්වේ එක්ක දැන් එයාට ඕන ආදරේ “

සචිනි රවිඳුට කිවවේ අවවාදාත්මක හඬින්. මනීෂා ගැන අකුරක් නෑර හැම විස්තරයක් වගේම සචින්තගේ රැවටීම ගැනත් රවිඳුට පැහැදිලිව කියන්න සචිනි වග බලා ගත්තා.ඒ වගේම ඒ යෝජනාව කෙලින්ම මනීෂාගෙ දෙමව්පියන් වෙත ඉදිරිපත් කරන්න කියලත් සචිනි රවිඳුට උපදෙස් දුන්නා.

” ලබන සතියේ අපේ අම්මලා එක්ක මනීෂාගේ ගෙදර යන්න එයාගේ අම්මලා එක්ක කතා කර ගත්තා “

මනීෂාගේ කැමත්ත මත , මනීෂාවත් දෙමව්පියන්වත් මුණගැහිලා ඇවිත් රවිඳු දුන්න ආරංචියෙන් සචිනි සතුටින් ඉපිලිලා ගියා.

රැවටීමකින් බිඳුනු හිත සුවපත් කර ගත්ත මනීෂා හැම මොහොතකම තමන්ගේ හෙවණල්ල වගේ ඉන්න , සහයෝගය දීම සහ අගය කිරීම ගැන නොඅඩුව දන්න ආදරණීයෙකුගේ පෙම්වතිය උනේ ඊට පස්සේ

අහම්බෙන් සචින්තව දැක්කට පස්සේ දිගහැරුනු අතීතය ලොකු සුසුමකින් හිතෙන් මුදා හැරපු මනීෂා නිහඬවම රිය ධාවනය කරන රවිඳු දිහා බැලුවා

” දුක හිතෙන දේවල් මතක් කරන්නේ ඇයි ඉතින් ? “

රවිඳු ඇහුවේ හිනාවක් අතරින්

” ඒ කාලේ කොච්චර දුකක් උනත් ඒ හැමදේම නිසානේ මට ඔයාව හම්බුනේ . ඉතින් දැන් ඒ දේවල් ගැන දුකක් නෑ “

රවිඳු මනීෂාගේ නිවස ඉදිරියේ වාහනය නතර කරනකොට මනීෂා කිව්වේ රවිඳුගේ අතකින් අල්ල ගන්න ගමන්

More Stories

Don't Miss


Latest Articles