හොයා බැලීම

විනාඩි දහයක් විතර දුරකථන ඇමතුමක හිටපු ප්‍රවීන් ගෙට ආවා.කාර්යාලයට ගිහින් ආව හැටියෙම ප්‍රවීන් දුරකථන ඇමතුමකට සම්බන්ධ වුණ නිසා දුෂානි ඔහුට තේ එකක් හදාගෙන ආවා.යෝජනාවකට අනුව සිදුකෙරුන විවාහයේ ගෙවන තුන්වැනි සතිය නිසා දුෂානි තාමත් ප්‍රවීන්ගේ ඇවතුම් පැවතුම් පිලිබඳව ඉගෙනගනිමිනුයි හිටියේ.ගුරුවරියක් ලෙස සේවය කරපු දුෂානි පාසල් නිවාඩු කාලය නිසා දවසින් වැඩි හරියක්ම ගෙදරට වෙලා තනියම කාලය ගත කළා

” අද මම එන ගමන් යාළුවෙක්ව drop කරන්න ගිය නිසා අම්මට කෝල් කරන්න බැරි වුණා. නැත්තං වෙනදට මම එන ගමන් අම්මට කෝල් කරනවානෙ දුෂානි “

විවාහයෙන් පසුවත් දෙමව්පියන්ව අමතක නොකිරීම මොන තරම් හොඳ දෙයක්ද කියලා දුෂානිට හිතුනා

” හැමදේම අම්මට කියන එක ඉස්සර ඉදලම මගේ පුරුද්දක් “

” ඉතින් අම්මා මොකද කියන්නේ ප්‍රවීන්? “

” විශේෂ දෙයක් නෑ ඉතින් .ඔෆිස් එකේ වෙච්ච දේවල් අම්මා එක්ක කිව්ව විතරයි “

” ඉතින් ඔයා මට ඒ විස්තර කියන්නෙ නැද්ද එතකොට ? “

” ඔයා හරියට දන්නෙ නැහැනෙ තාම මගේ යාළුවන්ව . අපේ අම්ම නං මුන්ගෙ පවුල් වල විස්තර හිටන් දන්නවා “

ප්‍රවීන් හිනාවෙමින් කිව්වේ තේ එක බොන අතරේ.ඉතා ඉක්මනින් කෙරුණු විවාහයේ හඳුනාගන්න මොන තරම් තැන් තියෙනවද කියලා දුෂානිට හිතුනෙ එතකොට

” කරවල තෙල් දැම්මා ද ? පුතා ආස තක්කාලි එහෙම හොඳට දාලා කිරට හදනවට “

ප්‍රවීන් නැති අතරේ දවල් වරුවක දුෂානි ව බලන්න ආව ප්‍රවීන්ගේ අම්මා කුස්සියට ඇවිත් වෑංජන සහිත භාජන ඇරලා බැලුවේ අනවසරයෙන්මයි.

” මැල්ලුමක් හරි සලාදයක් හරි හැදුවේ නැද්ද ? “

ප්‍රවීන්ගේ අම්මා ආයෙමත් ඇහුවා

” ඉඳහිට හදනවා අම්මේ.අද හැදුවේ නැහැ “

දුෂානි උත්තර දුන්නේ ප්‍රවීන්ගේ අම්මා ඊලඟට මොකක් අහයිද කියල බයෙන්

” අයියෝ ළමයො, ඒ වගේ දේවල් ඉඳහිට හදලා ඇති වැඩේ මොකක්ද ? මම හැමදාම ප්‍රවීන් ට මැල්ලුම් හදලා දුන්නා “

තමන් මහා ලොකු අපරාධයක් කළා වගේ කතා කරන ප්‍රවීන්ගේ අම්මා ගැන දුෂානිට ඇත්තටම ඇතිවුණේ අප්‍රසාදයක්.

ප්‍රවීන් හවස ගෙදර එනකොට අරගෙන ආව බඩුමලු අතරේ අලුත් කොළ මිටි කිහිපයක් තියෙන්නේ අම්මා ගේ උපදෙස් අනුව කියලා තේරුම් ගන්න දුෂානිට වැඩි වෙලාවක් ගියේ නැහැ

” අපේ අම්මා මට අද හරියට දොස් කිව්වා දුෂානි “

” ඒ මොකද ? “

” අම්මා කෑම බීම ගැන හරියට උනන්දු වෙනවා. තෙල් එහෙම පාවිච්චි කරන්න කරන්නේ අඩුවෙන්. ගේන්නෙම අලුත් එළවළු.ඒවාට හොඳ පිරිසිදුවට , ගුණ රැකෙන විදිහට හදන්නේ. අපි කෑම බීම ගැන එච්චර සැලකිලිමත් නැහැ කියලා අම්මා මට දොස් කිව්වා “

” එතකොට මම මේ ගෙදර කෑම හදන්න ඕනේ අම්මාගෙන් අහලද ? “

” මම එහෙම කිව්වෙ නැහැනෙ. ඒ උනාට එළවලු ජාති එහෙම හොඳට හදන්න. මං ඉතිං කිව්වේ නැත්තේ ඔයාගේ හිත රිදෙයි කියලා “

” ඔයා නොකිව්වට අම්මා නම් කිව්වා”

එහෙම කියපු දුෂානි කතාව දික් ගැහෙන්න කලින් කුස්සියට ආවේ බඩුමලු ටිකත් අරගෙන.දෙන්නෙකුට සෑහෙන එළවළු ගේනවා වෙනුවට තුන් හතර දෙනෙකුට උයන්න වගේ ප්‍රවීන් ගෙනත් තියෙන එළවළු තොග දැක්කම දුෂානිට ඇතිවුනේ කේන්තියක්.

” ප්‍රවීන් අද වැඩට ගියේ කීයටද දුෂානි ? “

උදේ 10 වෙනකොට දුරකථන ඇමතුමක් ගත්ත ප්‍රවීන්ගේ අම්මා කලබලෙන් වගේ ඇහුවා

” අද ප්‍රවීන් ටිකක් උදෙන් ගියා අම්මේ.ලොකු මීටින් එකක් තියෙනවා කිව්වා “

” බලන්නකෝ ඉතින් මට කිව්වේ නැහැනේ. මම කීප සැරයක්ම කෝල් කරා ආන්සර් කලේ නැහැ “

” අම්මා එයාට කතා කළේ හදිසියකට ද ? “

” නෑ මම එයාට නිකන් ගත්තෙ. මීටින් එකක් තියෙනවා කියලා මට කිව්වේ නැහැනේ “

ප්‍රවීන්ගේ අම්මා දුරකථන ඇමතුම අවසන් කළේ අමනාපයෙන් වගේ.විවාහයෙන් පසුවත් ගත කරන හැම මොහොතක් පිළිබඳවම අම්මා දැනුවත් කළ යුතුමද කියලා දුෂානි කල්පනා කළා.

හවස ගෙදර ආව ප්‍රවීන් කල්පනා කර කර ඉන්නවා දැක්කම ඒ ගැන අහන්නෙ නැතිව ඉන්න දුශානිට බැරි වුණා

” ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද ප්‍රවීන් ? “

” ප්‍රශ්නයක් කියන්නේ දුෂානි මේ අපේ අම්මගෙ වැඩ තමයි ඉතින් “

ප්‍රවීන් කතා කළේ තරමක කනස්සල්ලෙන් වගේ

” උදේම ඔෆිස් යනවා කියලා අම්මාට කියපු නැති එකද අවුල ? අම්මා උදේ මෙහාටත් කෝල් කරා “

” මෙහාට විතරක් නෙමෙයි. මගේ මොබයිල් එකට අරගෙන මම ආන්සර් කරපු නැති නිසා ඔෆිස් එකටත් අරගත්තා “

” ඉතිං මම කිවුවනෙ ඔයා මීටින් එකක කියලා “

” ඒක තමයි. අම්මා තකහනියෙම ඔෆිස් එකට කෝල් කරල ඇහුවේ මීටින් එකකට උදෙන්ම ඔෆිස් එකට යනවා කියලා ඇයි කිව්වෙ නැත්තෙ කියලා. එතන කීප දෙනෙක්ම හිටපු නිසා මට හරියට උත්තර දී ගන්නත් බැරි වුණා. මීටින් එක ඉවර වෙලා තමයි මං අම්මට කෝල් කරේ. එයා අඩන්න පටන් ගත්ත මම එයාට වෙනස් වෙනස්කම් කරනවා කියලා “

ප්‍රවීන් ඒ වචන පෙළ කියලා අවසන් කරනකොටම දුෂානි ලොකු හුස්මක් මුදාහැරියා.

” බඳින්න කලින් හැමදේම අම්මත් එක්ක බෙදා ගත්තට දැන් එහෙම කරන්න අමාරුයි කියලා මට තේරුනේ අද තමයි. ඒත් ඒක අම්මට තේරුම් කරන්න කොහොමද කියලයි දුෂානි මං මේ කල්පනා කරන්නේ “

” තාත්තා නැති වුණ දවසේ ඉඳලා ඔයාට හිටියේ අම්මා නේ. ඒ නිසා ඉතින් අම්මා ඔයා ගැන ඔය විදිහට හොයලා බලනවා ඇති. ඒකට ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න ප්‍රවීන් “

දුෂානි ඒ විදියේ පිළිතුරක් දුන්නේ අවසානයේදී තමා වැරදිකරු වෙයි කියලා අනුමාන කරලා. සිද්ධ වෙන දේවල් ඒ තරම් හොඳ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියලා ප්‍රවීන් තේරුම් ගත්ත එකම දුෂානිට සැනසීමක් වුණා.

එළඹෙන සති අන්තය ප්‍රවීන් එක්ක නිදහසේ කාලය ගත කරන්න දුෂානි හිතාගෙන ඉන්න කොට සෙනසුරාද උදේ 7වෙනකොට ප්‍රවීන්ගේ අම්මා කෑම වර්ග කීපයකුත් හදාගෙන ආවා

” අපරාදේ අම්මා මහන්සි උනේ .අපි අද වෙනසකටත් එක්ක එළියෙන් කන්න යන්න හිටියේ “

ප්‍රවීන් එහෙම කිව්වේ අම්මා ආවේ අනවශ්‍ය ගමනක් බව යන්තමින් හෝ ඇයට දැනෙන්නට යි

” කඩවල් වල තෙල් කෑම කන්න තියා ගත්තොත් හොඳට තියෙයි. මම මේ කිරි කොස් ටිකකුයි , ඇඹුල් තියල් ටිකකුයි හදාගෙන ආවා. දුෂානි ඉතිං මේවා හදන්න දන්නේ නැතුව ඇතිනේ “

” දුෂානි පෙරේදත් කිරි කොස් හැදුවා. ඔෆිස් එකේ යාළුවන්ටත් මං අරගෙන ගියා අම්මේ “

ප්‍රවීන් එහෙම කියනකොට දුෂානිට ඉබේටම ප්‍රවීන් දිහා බැලුනේ ඔහු කිව්වේ බොරුවක් නිසා

” හරි දැන් එතකොට මේවට මොකද කරන්නේ පුතා ?”

” ඕව ඉතින් ෆ්‍රිජ් එකේ දාල රෑට වත් කන්නම්. අපි මේ දාගත්ත ගමන් වගයක් තියනවා.ඒවා ගිහින් එන්න එපැයි අම්මේ “

” අද වත්තේ පොල් කඩන මනුස්සයා එන්නෙත් නැහැ.මට වෙන වැඩකුත් නැති එකේ මමත් එන්නද? “

” අම්මා නිකරුනේ කරදර වෙන්න ඕනේ නැහැ . අනික නිවාඩු දවස් වල උදේ පාන්දර මෙහෙම එන්න කරදර වෙන්න එපා මීට පස්සේ. අපිට බැරියෑ හෙමිහිට එන්න ඒ පැත්තේ “

ප්‍රවීන් එහෙම කියනකොට ඔහුගේ අම්මාගේ දෑස් පුදුමයෙන් මහත් වුණා.

” අම්මා තේරුම් ගන්න ඕනේ අපි දැන් වෙනම පවුලක් කියන එක. ඉස්සර වගේ නෙමෙයි තවත් වගකීම් අපිට තියෙනවා කියන එක. විශේෂම දේ අපේ පවුල ගොඩනඟා ගන්න අපිට කියලා නිදහසක් තියෙන්න ඕන කියන එක. මම කසාද බඳින්න ඕනේ කාවද කියලත් අම්මා තීරණය කරපු එකේ ඒ බැඳපු කෙනාව තේරුම් ගන්නවත් මට ඉඩක් දෙන්න “

පහුගිය රාත්‍රිය පුරාවටම කල්පනා කරල හිතේ හිර කරගෙන හිටපු දේවල් වචනවලින් මුදා හැරපු ප්‍රවීන් මොහොතකට නිහඬ වුණා. ප්‍රවීන් දිහාම බලාගෙන විනාඩි කිහිපයක් කල්පනා කරපු ඔහුගේ අම්මා පුටුවෙන් නැගිට්ටා

” මම ගිහින් එන්නම් පුතා. වෙලාවක් ලැබුණොත් ඒ පැත්තේ එන්නකෝ “

ආයාසයෙන් මුහුණට නගා ගත්ත හිනාවක් එක්ක එහෙම කියපු ඇය පිටත් වෙලා ගියා

” අම්මා දැන්වත් තේරුම් ගත්තොත් මට ඇති “

ගේට්ටුවෙන් නොපෙනී යන තමන්ගේ අම්ම දිහා බලාගෙන ප්‍රවීන් හිතුවා

More Stories

Don't Miss


Latest Articles