එළවළු සහ පලතුරු වැඩියෙන් කෑවොත් වෙන දේ දන්නවාද?

එදිනෙදා දිවියේ පෝෂණ අවශ්‍යතා සපුරාගැනීමට එළවළු සහ පලතුරු ආහාරයට එක්කර ගැනීම අත්‍යාවශ්‍යයි. එක දවසකට දහවතාවක් එළවළු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති. එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑ අටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළිවී ඇත.

පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැලකීමට හේතුවෙන විශේෂ එළවළු සහ පලතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනා ගනු ලැබ ඇත. එළවළු සහ පලතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගතයුතු එළවළු හෝ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි. පුද්ගලයන් විසිලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ අනූපහක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකන් අදාළ නිගමනයට පැමිණ තිබේ.

මේ අනුව පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග අතර කොල පැහැති එළවලු, කහ පැහැති එළවලු ගෝවා සහ මල් ගෝවා හා බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එළවළු ද වේ.  ඇපල්, පෙයාර්ස්, පැඟිරි සහිත පලතුරු, සලාද, කොල පැහැති එළවලු සහ ගෝවා, මල් ගෝවා හා බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එළවළු ද හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ගවේ.

(බී.බී.සී ඇසුරෙනි)

– සන්දනා –

Related Articles

Don't Miss


Latest Articles