ආත්ම ගෞරවය

සහේලි වෙනදාටත් කලින්ම කාර්‍යාලයට ඇවිත් අසුන් ගත්තා.ඇයට ඕන උනේ තනිවම කල්පනා කරන්න.ගෙවුණු හවස් වරුවේ සිදුවුන සිදුවීම් නිසා සහේලිගේ හිත ගොඩක් බිඳිල තිබුනා

” ඇයි සහේලි මිස් උදේ පාන්දරම ? “

කාර්යාලයේ පිරිසිදු කරන කාන්තාව කාර්යාල කාමරයට ඇතුළු වුණේ එහෙම අහගෙන

” වැඩ වගයක් තියනවා ඇන්ටි.ඒ නිසා කලින් ආවා “

පිරිසිදු කරන කාන්තාව මග ඇරලා සහේලි දුරකථනය අතට අරගෙන ෆේස්බුක් තිරය එහාට මෙහාට කලා.දේශාන් එවලා තියන පණිවිඩ රාශියක්ම සහේලි දැක්කෙ ඒ වෙලාවෙ.ඒත් ඒවා එකක් වත් කියවන්න සහේලිට ඒ වෙලාවෙ ඕන උනේ නෑ

” සහේලි , දේශාන් මට කෝල් කලා “

සහේලිගේ හොඳම මිතුරිය ගීත්මා සහේලි ට දුරකථන ඇමැතුමක් දුන්නේ ඊට පස්සේ

” එයා කිව්වේ මොකක් උනත් ඒක මට අහන්න ඕනෙ නෑ ගීත්මා “

” දේෂාන්ට ඔයාව හම්බවෙලා කතා කරන්න ඕනලු “

” මට ආපහු එයාව හම්බ වෙන්න ඕනේ නැහැ “

” ඔයාගේ තීරණේ ඒක නම් මමත් ඔයාට මොකුත් කියන්නෙ නෑ සහේලි.ඒත් මට බය ඔයා ඔහොම කතා නොකරම හිටියොත් ඒ මනුස්සයා ඔයාගේ ඔෆිස් එකට වත් එයිද කියලා “

” එන විදිහකට මූණ දෙනවා “

තරයේම එහෙම කියපු සහේලි මිතුරියගේ ඇමතුමට සමුදුන්නා.ඒත් කාර්යාලයේ වැඩ කරගන්න තරම් සහේලි ගේ හිත සන්සුන් වුණේ නැහැ

” සහේලි මිස්ව හම්බවෙන්න කෙනෙක් ඇවිත් “

කාර්යාලයේ සුළු සේවකයෙක් උන පියල් සහේලිට පණිවිඩයක් අරගෙන ආවෙ දවල් කෑම වෙලාවෙන් පස්සේ.කවදාවත් තමන්ව මුණගැහෙන්න කාර්‍යාලයට කවුරුත් නොඑන නිසා ආවෙ කවුද කියලා හිතාගන්න සහේලිට පුළුවන් වුණා

” මට දැන් කාවවත් කාවවත් හම්බ වෙන්න බැහැ පියල්. මම මීටින් එකක කියලා ආවා කෙනාට කියන්න “

” ඒ ආව මහත්තයා ලොකු හදිසියක් කියලා තමයි කිව්වේ “

” කොච්චර ලොකු හදිස්සියක් වුනත් මට දැන් කාවවත් හම්බ වෙන්න බැහැ . පියල් ගිහින් මම කියපු දේ කරන්න “

සහේලි ඉතා ඉවසීමෙන් පියල් ආපහු යන දිහා බලාගෙන හිටියා.පියල් කියපු හැඩරුව අනුව ඒ ආවේ දේශාන් කියලා සහේලි අනුමාන කළා.කරදරය එතකින් ඉවරයි කියලා සහේලි හිතුවත් ඒක එහෙම වුණේ නැහැ.කාර්යාල වේලාව අවසන් වෙලා සහේලි එලියට එනකොට කාර්යාලය ඉදිරිපිටට වෙලා දේශාන් බලාගෙන හිටියා

” මට කතා කරන්න ඕනේ සහේලි “

” ඔයාට කතා කරන්න ඕන උනාට මට ඔයත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ දේශාන් . මම ඔයාට ඊයේම පැහැදිලිව කිව්වා අපි දෙන්න අතරේ මීට පස්සේ කිසිම ගනුදෙනුවක් නැහැ කියලා “

” මගේ අතින් වැරැද්දක් වුණා තමයි. ආයෙ එහෙම වෙන්නෙ නැහැ කියල මම පොරොන්දු වෙන්නම් “

” ඔයා මාත් එක්ක යාලු වෙලා ඉන්න ගමන් තව කෙල්ලොත් එක්ක තිබ්බ සම්බන්ධකම් අමතක කරන්න කියලද ඔයා මට කියන්නේ ? ඔයා කොහොමද ඒ වගේ දේවල් එච්චර සුලුවෙන් හිතන්නේ ? “

” මට තේරෙනවා සහේලි මම වැරදියි කියලා. මට එක පාරක් සමාව දෙන්න “

” සමාව දෙන්න වත් සුදුසු කෙනෙක් නෙමෙයි ඔයා “

එහෙම කියපු සහේලි ඇය වෙනුවෙන් ආව කුලී රථයට නැගුනා.

” මොකක් හරි ප්‍රශ්නයක්ද පුතේ ? “

සහේලි ගෙට ගොඩ වෙනකොටම ඇගේ අම්මා ඇහුවේ විමසිල්ලෙන්

” එහෙම එකක් නැහැ අම්මා .ඇයි ? “

” අර දේශාන් ළමයා කීප සැරයක්ම ගෙදරට කෝල් කරලා ඔයාව ඇහුවා .මම කිව්වා ඔයා ඔෆිස් ගියා කියලා “

සහේලි මොකවත්ම නොකියා කාමරේට ආවා. කෝපයත් දුකත් මුසු වුණ හැඟීම් පාලනය කරගන්න අමාරු වුන සහේලිගෙ දෑස් වලින් කඳුලු පිටවෙනකොට ගේට්ටුව ගාව ත්‍රීරෝද රථයක් නතර කරන හඬ ඇයට ඇහුණා

” මේ පොඩි දේකට නේ ආන්ටි එයා කලබල වෙලා තියෙන්නේ .ඒක විසඳගන්න වත් එයා මාත් එක්ක කතා කරන්නේ නැහැනෙ “

සාලය පැත්තෙන් දේශාන්ගේ කට හඬ ඇහෙනකොට සහේලිගේ හිත කෝපයෙන් පුපුරු ගහන්න පටන් ගත්තා

” මමත් ඇහැව්වා එයාගෙන්.පුතා අද කිහිප සැරයක්ම කෝල් කරපු නිසාම.ඒත් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වනේ “

” ප්‍රශ්නයක් නැත්තෙ නැහැ ඉතින් . ඒත් කතා කරලා විසඳගන්න බැරි කමක් නැහැ නේ . පුදුම හිතුවක්කාර කමක් තමයි සහේලිගේ වෙලාවකට තියෙන්නේ “

ඇඳ මත වාඩි වෙලා හිටපු සහේලි ඉතා ඉවසීමෙන් සාලයේ ඇහෙන කතා කතාබහට ඇහුම්කන් දුන්නා

” සහේලි “

සහේලිගේ අම්මා කාමරයට එබුණා

” ඇවිත් අර ළමයා එක්ක කතා කරන්න. තියෙන ප්‍රශ්නයක් කතාබහ කරලා විසඳගන්න රණ්ඩු සරුවල් කර ගන්නේ නැතුව “

” අම්මා මොකටද ඒ මිනිහව ගෙට ගත්තේ මගෙන් අහන්නේ නැතුව ? “

” මොකද ළමයෝ ඔයාට මේ වෙලා තියෙන්නේ ? “

” ඉන්නකෝ. වෙලා තියෙන දේ මම කියන්නම් “

වේගයෙන් නැගිට්ට සහේලි සාලයට ආවා. ඇගේ මුහුණේ තිබුණු කෝපාන්විත ස්වරූපය දැකපු අම්මාත් ඇගේ පසු පසින් සාලයට ආවා

” ඔයා දැන් මොකද්ද කියන්නේ දේශාන් ? “

” නෑ මම මේ කියන්නේ… “

” ඔයාට ඕන ඕන හැටියට කෙල්ලොත් එක්ක නටන්න දීලා මට බලාගෙන ඉන්න කියලද ? “

” ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි සහේලි. අනික අම්මා මං ගැන මොනවා හිතයිද ඔයා එකයි ද ඔයා මේ විදිහට කතා කරනකොට ? “

” මොනවත් හිතන්න දෙයක් නැහැ ඇත්ත දැන ගත්තම “

සහේලිගේ අම්මා පුදුමයට පත්වෙලා දේශාන් දිහාත් සහේලි දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.මොකක් නමුත් සිද්ද වෙන්න යන දේ එතරම් හොඳ දෙයක් නෙමෙයි කියලා ඇයට හිතුනා

” ඔයා ඔෆිස් එකේ වැඩ කියලා , මීටින් කියලා එක එක ගෑනු ළමයි හම්බ වෙන්න ගිය ඒවා ඒ ළමයින්ම ඇවිල්ල මට ඔප්පු කරලම පෙන්නුවා .ඉතිං ඔයා මෙතන ඇවිත් තවත් මොනාද කියන්නේ “

” ඒවා සේරම බොරු “

” ඒව සේරම බොරු නෙමෙයි කියලා මම හොඳටම දන්නවා. මොකද ඔයා බොරු කියලා එවපු මෙසේජ් එහෙම මං ගාවත් තියෙනවා නේ.ඒ ළමයි ගාවත් ඒවා එහෙම්මම තියෙනවා. ඉතින් ඔයා වගේ මිනිහෙකුට තවත් රැවටෙන්න මට ඕනේ නැහැ “

” ඔයා කොහොමද එහෙම තීරණය කරන්නේ මේක ඉවරයි කියලා ? හෙට අනිද්දා අපේ අම්මලා මෙහෙ එන්නත් නේ ඉන්නේ “

” අම්මලා තියා කවුරු ආවත් ඔයාගේ ගතිගුණ වෙනස් කරන්න බැරි නම් අපිට කවදාවත් එකට ගමනක් යන්න බැහැනේ. අනිත් එක ඔයාට රැවටි රැවටි ඉන්න මම කවුරු කියලද ඔයා හිතාගෙන ඉන්නේ ? “

” මේ විදිහට ඇවිත් ඔයාට බාල්දු වෙන මම කවුරු කියලද ඔයා හිතාගෙන ඉන්නේ සහේලි ? “

” ඔයා කවුරු වුනත් මට දැන් වැඩක් නෑ දේශාන්. ඔයාගේ ඇත්ත රූපේ දැන ගත්ත වෙලාවෙම මම තීරණය කරා තවත් ඔයාව මගේ ජීවිතයට ඕනෙ නැහැ කියලා. මොකද බොරු කරන මනුස්සයෙකුට වඩා මට මගේ ආත්ම ගරුත්වය වටිනවා “

සහේලි කතා කළේ බොහොම ඉවසීමෙන්. තමන් සතු වටිනාකමට මුල් තැනදී නොවටිනා තැන්වලින් ඈත් විය යුතු බව ඇය විශ්වාස කළා.ඒ නිසා රැවටිලිකාර පෙම්වතකුට හසු වනවාට වඩා තනිව සිටීම යහපත් කියලා ඇය තීරණය කළේ පහුගිය දවසෙ දේශාන්ගේ ඇත්ත ස්වරූපය ඇය ඉදිරිපිටම එළි උනාට පස්සේ

” ඔයා මාව හම්බවෙන්න ඔෆිස් එකට ආවත් ,ගෙදරට ආවත් කොච්චර කෝල් කරත් ආපහු මගේ තීරණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ . ඒකත් මතක තියාගෙන ඔයා දැන් යන්න “

එහෙම කියපු සහේලි ලොකු හුස්මක් ගත්තේ අනාගතයේ තමන් වැටෙන්න ගිය ලොකු අනතුරකින් ගැලවුනා කියලා හිතලා සැනසීමෙන්

More Stories

Don't Miss


Latest Articles