සදාතනිකව පැනවූ දැඩි සදාචාරාත්මක නියමයන් ප්‍රශ්න කරන “අනුන්ගේ ලේ“

0
628

“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබූ රෙද්ද වේගයෙන් ඉහළ පහළ ගියේය. ඒ අතරින් ජිවත් වීමේ ආයාසය, ඝෝෂාකාරී ඒ ආයාසය ඕනෑවටත් වඩා පෙනෙන්නට විය. ඈ සිටියේ ජීවිතය අල්ලා ගන්නට අරගල කරමිනි. ඒ අතර ඇගේ එළිය නිවී යමින් තිබිණි. අලුයම වන විට එය මුළුමනින්ම නිවී යනු ඇත. ඒ මා නිසාය. මුලින්ම ජැක්. දැන් හෙලන්. මොකද, මා ඇයට ආලය නොකළ නිසා. එසේම මා ඇයට ආලය කල නිසා. මොකද , ඈ මට එතරම් සමීප වුන නිසා. එසේම ඈ එතරම් දුරින් සිටි නිසා. මොකද මා ජිවත් වන නිසා. ඒ නිදහස් හුදෙකලා, සදාතන ඈ මගේ පැවැත්ම සමඟ ගැට ගැසී සිටි නිසා.”

මගේ ක්‍රැර පැවැත්මෙන් ගැලවෙන්නට ඈට මඟක් නොවුණු නිසා .කොටින්ම ,ඇගේ ජීවිතයේ යාන්ත්‍රික ක්‍රියා පරම්පරාවේ විලංගුව තුළ ඈ සිරවී සිටි නිසා. දැන් ඇගේ මුළු සන්තානයම ඒ යදමේ අවසාන මරණිය පුරුකට එළඹ අන්ධ යකඩයකින් තැලුම් කයි. ඒ ලෝකයේ දැඩි පැවැත්ම විසින් ,එනම් මගේ පැවැත්ම විසින් ,ඇගේ මරණය කැඳවනු ලැබේ .ඔව් තිරසර වූත්,නොවැලක්විය හැකි වූත් මා ,පෙනෙන්නට තරම් හේතුවක් නැතිව ,එනම් අහේතුකව එහි සිටි නිසා …සත්තකින්ම, මා කිසිදා නොපැවතිය යුතු සත්වයෙකි. මුලින් ජැක් දැන් හෙලන්”

“අනුන්ගේ ලේ ප්‍රංශ ලේඛිකා සිමොන්ද බෝවා විසින් රචිත “ Blood Of Others” හි සිංහල පරිවර්තනය වන අතර ගාමිණි වියන්ගොඩ විසින් මෙය සිංහලට නගා තිබෙනවා. ප්‍රංශ මහා දාර්ශනික ශොන් පෝල් සාත්‍රගේ ජිවන සහකාරිය වූ ඇය කාන්තා විමුක්ති දර්ශන වාදිනියක ලෙස ලෝ පතල වුනු ලේඛිකාවක් වන අතර ස්ත්‍රී වාදයේ මව වශයෙන් බොහෝ දෙනා ඇයව හඳුන්වනවා .ගබ්සා කිරීමට ගැහැනියකට ඇති අයිතිය සහ වෙනත් කාන්තා අයිතිවාසිකම් පිළිබඳව විශාල ජන මතයක් ගොඩ නැගීමට ඈ පෙරමුණ ගත්තා.

“ඒ වුණාට ඔයා දන්නවා ඇයි ඔයා ජිවත් වෙන්නේ කියලා ,”අවානක් සේ අතේ ඇඟිලි දිගහැරිය ඈ එය ඕනෑ කමින් නිරීක්ෂණය කළාය.” මං දන්නේ නැහැ මං ඇයි ජිවත් වෙන්නේ කියලා“

“ඔයා ආස කරන දේවල් තියෙනවා .ඔයාට ඕනා කරන දේවල් තියෙනවා ……..”

ඈ සිනාසුණාය.”මං ආස චොක්ලට් වලටයි බයිසිකල් වලටයි “

“කිසිම දෙකට ආස නොකරනවට වැඩිය ඒකත් හොඳයි “

මේ නව කතාව, මුල් වරට පළවන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේය. මිනිස් ජීවිතය පිලිබඳ ගැඹුරු සංවාදයක නිරත වන අනුන්ගේ ලේ මහත් සම්භාවනාවට පත් වූ නව කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලෝකය වෙනස් කරන්නට සිය පෑ න අතට ගත් ගැහැණියකගේ උත්සාහයක් ලෙසත් මේ අගනා කෘතිය හඳුන්වා දෙන්න පුළුවන් .ඉතින් විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් වන මේ පොත, ඔබගේ දැක්ම නව මගකට යොමු කරන පොතක් වේවි අනිවාර්යයෙන්ම .

“ඔහු ජනේලය දෙස බැලුවේය. දවස උදාවී ඇත. එක මිනිත්තුවක්, තව මිනිත්තුවක් පසු පස හඹා ගොස් එකිනෙක මිනිත්තුව ඉදිරියට තෙරපයි. අවසානයක් නැත. යන්න …….එක දිගට ම යන්න ….තීරණය කරන්න …… නැවත වතාවක් සීනු හැඬවෙයි. මගේ මරණය දක්වාම එය හැඬවෙනු ඇත.”

චම්මි