තමන්ගේ ඇස්.

“මං පොඩි ඕපාදූපයක් අහන්නද?”

දවල් කෑමට කාර්යාලයේ ලන්ච් රූම් එකට ඇවිල්ලා ඉඳගන්න ගමන් ශෝභා එහෙම අහනකොට සජිනි ඒ දිහා බැලුවේ පුදුමයෙන්.සජිනිලාට වඩා අවුරුදු හත අටක් වැඩිමල් ශෝභා “ඕපාදූප අහන සංගමේ” සාමාජිකාවක් බවට කිසි දවසක පත් වුණේ නෑ.ඒ නිසාම ඒ ඇය ශෝභා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.

“ඇයි ඔයා තාරකට අකමැති..”

ශෝභා එහෙම ඇහුවේ ප්‍රසන්න හිනාවක් එක්ක.තාරක තවමත් ඉන්නේ තමන් ගැන කැමැත්තෙන් කියලා සජිනි දන්නවා.සමහරවිට තාරක මේ ආදරය කොහොමහරි ඇත්තක් කර ගන්න ශෝභාගෙන් උදව් ඉල්ලන්න ඇති.

“මට ඇත්තටම මේක අදාළ කතාවක් නෙවේ සජිනි.මම යාළුකමට ඇහුවේ.සමහර ගර්ල්ස්ලා එක අෆෙයා එකකින් අවුල් වුණාට පස්සේ ආයේ ආදරේ කරන්න බයයි.ඒ නිසා මට එහෙම අහන්න හිතුණේ.මේ ඔෆිස් එකේ ඩ්‍රීම් බෝයි කෙනෙක් වෙච්ච තාරකටත් ඔයා අකමැති කීවම මට එහෙම අහන්න හිතුණා.හැබැයි ඒක පර්සනල් හේතුවක් නම් මට වැඩක් නෑ හොඳේ..”

ශෝභා වැදගත් ගැහැනියක් කියලා දන්න නිසාම සජිනි ඇය දිහා බලාගෙන මොහොතක් ගත කළා.

“මෙයාට මොනවා වෙලාවද මන්දා අක්කි.අපි එන ට්‍රේන් එකේ බෝයි කෙනෙකුත් මෙයාගෙන් ආස්ක් අවුට් කරා.කැමැති වෙන පාටට ඉඳලා මෙන්න මෙයා බෑ කියපි.තාරකට කරෙත් ඒකනෙ..”

සජිනිගෙ මිතුරියක් වුණු පියුමි එහෙම කියද්දී සජිනි මොකුත් නොකියා බත් කටක් අනන ගමන් ලන්ච් රූම් එකේ දොර පැත්තට ඇහැ යැවුවා.ඒ තාරක එනවද බලන බැල්මක් නොවන බව තේරුණේ ශෝභාට.සමහරවිට තමන්ගේ සැකය නිවැරදි ඇති.ශෝභාට හිතෙන්න පටන් ගත්තා.

“කෝ එරන්දි? අද දවල්ට කන්නෙ නැද්ද?”

ශෝභා ඒ ප්‍රශ්නේ ඇහුවේ පියුමිගෙන්.පියුමි උරහිස් නැටෙව්වේ අකමැත්ත පළ කරන්න වගේ.

“අක්කි ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ සමහරවිට එරන්දි අක්කා නම් දන්නව ඇති.මෙයා එක්ක කුටුකුටු ගානවට වඩා වැඩක් එයාටත් නෑනෙ..”

ආදරය සහ විවාහය අතිශය පෞද්ගලික තෝරා ගැනීම් වුණත් සජිනිගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැන් ශෝභාට පැහැදිලියි.

“එරන්දි අක්කා අද කෑම ගෙනල්ලත් නෑ.කන්න එන්නත් බෑ ඔලුව රිදෙනවලු.අනේ එයා පුදුම විඳවිල්ලක්නෙ අක්කි විඳවන්නේ.මට ඇත්තටම ආදරේ කරන්නයි මැරි කරන්නයි බය හිතෙන්නෙම එයා හින්දා..”

සජිනි එහෙම කියනකොට ශෝභා මොකුත්ම නොකියා විනාඩි කිහිපයක්ම නාස්ති වෙන්න ඉඩ ඇරියා.

“එරන්දිගේ ෆැමිලි ලයිෆ් එක හරිම අවුල් කියන දේ,එයා නිතරම සංජය එක්ක රණ්ඩු වෙනව කියන දේ මේ ඔෆිස් එකට රහසක් නෙවේ සජිනි.එයා ඒවා අපි කාටත් කියන දේවල්..”

ඒ බව සජිනිත් දන්නවා.නමුත් එරන්දි ආදරය සහ විවාහය මොනතරම් බොරුවක්ද කියන දේ නිතරම කියන්නේ සජිනිට.

“ඇයි අක්කා ඔච්චර විඳවන්නෙ?ඩිවෝස් කියන දේ මිනිස්සු වෙනුවෙන් තියන දෙයක්නෙ.ඇයි එහෙම ඔප්ෂන් එකකට යන්නෙ නැත්තෙ?”

පියුමි ඒ ප්‍රශ්නේ දෙපාරක් නොහිතා අහන නිසා ආදරය සහ විවාහය කියන්නේ ලෝකයේ තියන ත්‍රාසජනක සහ විශ්වාසයට ගත නොහැකි දෙයක් කියන දේ එරන්දි පියුමිට නොකියන තරම්.ඒත් දුකට වැටිල ඒ දුක නැති කරගන්න හෝ මිදෙන්න උත්සාහ නොකර “දුකම මොනතරම් මිහිරක්දෝ” කියලා ඉන්න එරන්දි ඒ ගැන සජිනි එක්ක දිගින් දිගටම කතා කරනවා.පිරිමි කියන්නේ මොනතරම් ගඳගහන ගතිගුණ තියන විශ්වාස කළ නොහැකි කපටි මිනිස්සු ද කියලා සජිනිත් හිතන්නේ ඊටපස්සේ.

“ඔයාල දන්නවද මං මැරි කරලා අවුරුදු හයක් යනකම් බබෙක් හැදුවෙ නෑ..මට කිසිම ඉෂූ එකක් තිබ්බෙත් නෑ..ඩොක්ට කෙනෙක් මීට් වෙලා විසඳාගන්න..”

ශෝභාගේ හඬින් සජිනි පියවි ලෝකයට එනකොට පියුමිට අහන්න ප්‍රශ්නයක් තිබුණා

“අක්කා සෑහෙන කාලයක් ලයිෆ් එක එන්ජෝයි කරලනෙ..”

ඒකට ශෝභාගේ පිළිතුර වුණේ හිනාවක්.

“ඇත්තටම ඇත්ත මම ටිකක් නෙවෙයි හුඟාක් බයෙන් හිටියා කියන එක..”

ඒ කතාව අහන්න පියුමිටත් සජිනිටත් දෙන්නටම ලොකු කුතුහලයක් ඇති වුණා.

“ඉන්ද්‍රා මිස් ඉන්නේ.එයා මැරි කරලා කාලයක් යනකම් බබෙක් හිටියේ නෑ.මං මේ ඔෆිස් එකට ආපු අලුත වගේ එයා IVF එකකින් ප්‍රෙග්නන්ට් වුණේ.ඉන්පස්සෙ මිස් ප්‍රෙග්නන්සි එක කියන්නේ මොනතරම් භයානක අත්දැකීමක්ද කියල ශෙයා කරගත්තෙ අලුත බැඳපු මාත් එක්ක.එයා වින්ද හැමදෙයක්ම මට විතරක්ම කිව්වද කියලත් මට පස්සෙ හිතුණා.අනිත් එක ඕනෑම ගෑනියෙක් දෙතුන් පාරක්වත් ගබ්සා වෙනව කියල මගෙ ඔලුවට ඉන්ද්‍රා මිස් තදටම දැම්මා.මට ඒක දරා ගන්න හිතන්නවත් බැරි වුණා..”

තමන්ටත් වෙමින් පවතින දේ ගැන සජිනිට තේරෙන්න ගත්තේ ඒ වෙලාවේ.

“තමන් වින්ද දුක මටත් අනිවාර්යයෙන් ලැබෙයි කියලා ඉන්ද්‍රා මිස් හිතුවා.ඒත් අපේ කොල්ලා ලැබෙන්න හිටිය කාලේ මට මෝනිං සික්නස්වත් නෑ.ඉන්ද්‍රා මිස්ට සිසේරියන් එක එලොව ගිහින් මෙලොව ආපු එකක් වුණාට කිරි ගල් වුණාට මට ඒ මොකුත්ම වුණේ නෑ.මං හරි සතුටින් ඒ මොහොත වින්දා..”

ශෝභාගේ කතාව අහගෙන හිටපු පියුම් තමන්ගේ මිතුරිය දිහා බැලුවේ තොල් පෙරළා ගන්න ගමන්.

“ඔයාට ඇහුණද මැඩම්? එරන්දි අක්කගෙ මනුස්සයා යකෙක් උනාට වෙන ගෑනු හිටියට ලෝකෙ ඉන්න පිරිමි හැමෝම එහෙම නෑ..”

තමන්ට වෙන ඕනෑම කටුක දේකට පිළියම් හොයා ගන්න පුලුවන් බවත් කෙනෙකුට වෙන හැම නරක දෙයක්ම අනුන්ටත් එහෙමම නොවෙන බවත් හිතෙනකොට සජිනිට ලා හිනාවක් තොල් අතර මවා ගන්න බැරි වුණේ නෑ. ලන්ච් රූම් එකට ඇවිදන් එන තාරකට ඒ හිනාව මල් හිනාවක් වෙලා පාවෙලා යන හැටි පියුමි බලා හිටියේ සතුටින්.ශෝභාටත් නැඟුණේ සැනසිලිදායක මඳහසක්.

ආදරය,විවාහය,දරුවන් හැදීම බොහොම සාපේක්ෂ තෝරා ගැනීම්.ඒක ඇත්ත.නමුත් අපි ඒ දේ විඳින නිසා ඒ අයිස් ක්‍රීම් එක කන්නම කියලා කෙනෙකුට බල කරන්න අපිට බෑ.ඒ වගේම තමයි ඒ හැම දෙයක්ම අපිට තිත්ත කසායක් වුණු පමණින් හැමෝටම එහෙම වෙන්නෙත් නෑ.

ජීවිතේ කියන්නේ හරිම සාපේක්ෂ දෙයක්

More Stories

Don't Miss


Latest Articles