විවේචන

” අනූගේ engagement photos වලට වැටිල තියෙන කමෙන්ට්ස් දැක්කද ඔයාලා ? “

අමන්දා එහෙම අහගෙන මිතුරියන් ඉන්න තැනට ආවේ කලබලෙන් වගේ.

” photos නම් දැක්කා.කමෙන්ට් කියවන්න බැරිවුනා නේ අමන්දා “

රන්දි කඩිමුඩියේ දුරකථනය අතට අරගෙන පරික්ෂා කළා.

” මිනිස්සුන්ටත් ඕනේ නැති එකක් නැහැ . engagement photos වලටත් මේ වගේ කමෙන්ට් දානවා කියන්නේ ඉතිං හිතාගන්න පුළුවන්නෙ මිනිසුන්ගේ තරම “

අමන්දා කතා කළේ කෝපයෙන්.

” අනූ ඉතින් අර රියලැටි එකට ගියාට පස්සේ ජනප්‍රිය වුණානේ.ඒ නිසා මිනිස්සු එයාලා ගැන අවදානෙන් ඉන්නෙ.ඒත් ඉතිං පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න එයාලට අයිතියක් නැහැනෙ “

අනූගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප වලට බොහෝ දෙනා එකතු කරලා තියෙන සෘණාත්මක අදහස් ගැන මිතුරියන් කතා කලේ කනස්සල්ලෙන්.

” අමන්දා. අනු කොහෙද දන්නේ නැහැ නේද මේ වෙලාවේ ඉන්නේ ? අපි එයාටත් එන්න කියමු එයා ෆ්‍රී නම් “

රන්දි ආයෙමත් අහද්දි අනෙක් මිතුරියනුත් ඒ අදහස අනුමත කළා

” ඉන්නකො මම අරගෙන බලන්නම් “

විනාඩියක් ඇතුලත අනු දුරකථන ඇමතුමට සම්බන්ධ උනා

” පහුගිය ටිකේම engagement එකේ වැඩ වලට වලට මහන්සි උන නිසා මම අද නිවාඩුවක් දැම්මා අමන්දා “

අනූගේ හිතත් වෙහෙසට පත්වෙලා කියලා ඇගේ කටහඬින්ම අමන්දාට තේරුණා

” අපි කට්ටිය ලන්ච් වලට එළියට ආවා අනූ.මෙතන රන්දි , රශිනි , දුලායා හැමෝම ඉන්නවා.ඔයත් එනවනං අපි කැමතියි “

තරමක හිත් පීඩාවකින් හිටපු අනූ අමන්දාගේ යෝජනාවට එක පයින්ම කැමති උනා.පොරොන්දු උනා වගේම ඇය මිතුරියන් මුණගැහෙන්න නගරයේ ජනප්‍රියම අවන්හලක් වෙත ඉක්මනින් ආවා

” ඔයා නං තවත් තවත් ලස්සන වෙලා. පහුගිය දවස් වල ඉතින් ටීවී එකේ දැක්කට ඇත්තටම දැක්කේ අදනේ කාලෙකින් “

මිතුරියන් අනූව පිළිගත්තේ වෙනදා වගේම නොවෙනස් වුණ ආදරයකින්.ඒ වෙලාවේ හිටපු තත්ත්වය අනුව ඒක අනූට මහා ලොකු සැනසීමක් වුණා

” ඔයාලා දකින්න ඇති නේද ගොසිප් සයිට් වල යන ඒවා “

බලාපොරොත්තු වුණ මාතෘකාව අනූම පටන් ගත්තා

” මට හිතෙන්නෙම ඒවා දුලාජ් ගේ වැඩ කියලා. එයා හිතාගෙන ඉන්නේ මම ජනප්‍රිය වුණාට පස්සේ එයාව අත ඇරියා කියලා “

අනූ සුසුම් හෙලුවා.ටික දවසකට කලින් විවාහ ගිවිස ගැනීමේදී දැක්ක හිනාවෙන් පිරුණු මුහුණ වෙනුවට ලොකු දුකකින් මැල වෙලා ගිය මුහුණක් මිතුරියන්ට දකින්න ලැබුණා

” මිනිස්සු මොන දේ කිව්වත් මමනෙ දන්නෙ මට වෙච්ච දේවල් “

” ශානක මොකද මේ ගැන කියන්නෙ ?”

අමන්දා ඊළඟට ඇහුවේ වැදගත්ම ප්‍රශ්නයක්

” එයාට ඕව ගැන ගානක්වත් නෑ අනේ “

” ඉතින් එහෙනම් එච්චරයි නේ බං “

එහෙම කිව්ව මිතුරියන් මහ හඬින් හිනා වුණා

” ප්‍රශ්නේ ඒක නෙමෙයි අමන්දා. ශානකගේ අම්මලාත් මේ දේවල් ගැන දන්නවා. එයාලා කොහොම හිතනවද කියලා නම් මම දන්නෙ නෑ . එක gossip ගොසිප් සයිට් එකක තිබුන පෝස්ට් එකකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා මම දුලාජ් ගෙන් සෑහෙන්න සල්ලි කඩා ගත්තා කියලා , එහෙම කරලා මම ජනප්‍රිය වුණාම එයාව අත ඇරියා කියලා “

” මෙච්චර ලස්සන engagement එකක photos වලට ජරා කමෙන්ට්ස් දාන්න මිනිස්සු කොහොම හිත හදා ගන්නවා ද මන්දා “

මිතුරියන් කතා කලේ කෝපයෙන්.

” දුලාජ් ඒ කාලේ ඉදලම හැදුවේ මාව එක තැනක හිර කරලා තියාගන්න. ඔය තරගයට මම ගිය එකටත් එයා හිටියේ මාත් එක්ක කේන්තියෙන්. ඉස්කෝලෙ කාලෙ ඉඳලම හැම තරගයකම සින්දු කියලා දිනපු මම ඇයි එෆෙයාර් එකක් නිසා මගේ හැකියාව හංගගෙන ඉන්නේ ? “

” තරගෙට යන්න ඔයා ගත්ත තීරණය නම් හරියටම හරි අනූ. ඊට පස්සෙත් ඔයාගේ ගමන යන්න නොදෙන නිසා ඔයා එෆෙයාර් එක නවත්තපු එකත් හරියටම හරි. ඒත් මේ වෙන දේවල් තමයි ඔයාට හොඳ නැත්තේ “

” මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ වගේ කමෙන්ට්ස් දාන එක මාර දෙයක් කියලා.ඒත් ඒකෙන් අදාල කෙනාට වෙන හානිය කොච්චරද කියලා එයාලා පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ “

මිතුරියන් එක්ක කතා කරන්න ලැබුණට පස්සේ අනූගේ හිත තරමක් සැහැල්ලු උනා.මොනම තත්ත්වයක දී වුණත් මිතුරියන් තමන් සමග සිටීම ඇයට ගෙනාවේ සැනසීමක්

” ඕක ඔච්චර හිතන්න එපා අනූ. මට පුළුවන් ඕක අපේ අම්මිලාට තේරුම් කරලා දෙන්න “

ශානක එහෙම කිව්වත් අනූ එයින් සෑහිමකට පත් උනේ නෑ. නොමිනිසුන්ගෙ නපුරු වචන වලින් ඇය වෙහෙසට පත්වෙලා හිටියා. ඒ බව වටහා ගත්ත ශානක අනූව තමන්ගේ ගෙදරට එක්කගෙන ගියා

” දූ මොනාද බොන්නේ ? “

ශානකගේ අම්මා ඇහුවේ පුරුදු කරුණාවෙන්

” මොකුත් එපා අම්මා .මම අද යාළුවොත් එක්ක lunch වලට ගිහිල්ලා ආවේ “

අනූ තමන්ගේ දෑස් මඟහරිමින් කතා කරන්නේ සිද්ධ වෙලා තියෙන දේවල් නිසා කියලා ෂානකගේ අම්මා හොඳින්ම තේරුම් ගත්තා

” මම ඔයාගේ ෂානකගේයි කටයුත්තට කැමති වුනේ ඔයා යාළුවෙලා හිටියේ කා එක්කද කියලා බලලා නෙමෙයි “

ෂානකගේ අම්මා කියන්න හදන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව අනූ එක එල්ලේම ඇය දිහා බැලුවේ පුදුමයෙන්

” ඇයි අපි ඒවා බලන්න ඕනේ ?”

එහෙම අහපු ෂානකගේ අම්මා කතාව මොහොතකට නතර කළා

” ඔයා මගේ පුතාට ආදරේ නම් , ඔයා ඔයාගේ දෙමව්පියන්ට වගේම අපිටත් ආදරෙයි නම්, ඔයාගේ ගතිගුණ වලට මගේ පුතා කැමැතියි නම් වෙන මොනවද අපිට ඕනේ දූ ? “

” අම්මේ… “

අනූ හීන් හඬින් මිමිණුවේ කියන්නේ මොනවද කියල හිතාගන්න බැරුව

” තමන්ට තියෙන සම්බන්ධයක් නොගැළපෙනවා කියලා හිතෙනවා නම් ඒකෙන් අයින් වෙන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා.ඒ තීරණය ගැන විවේචනය කරන්න අනිත් අයට අයිතියක් නැහැ “

අනූ ඇගේ ඇස් වලට ආව කඳුළු වලට ගලාගෙන යන්න ඉඩ හැරියා

” දවසක් දෙකක් යනකොට මිනිස්සුන්ට ඔය දේවල් අමතක වෙලා යයි. දූ හිත නරක් කර ගන්නේ නැතුව ඉන්නකෝ.ඔය මොන ප්‍රශ්නේ ආවත් ඔය දෙන්නට දෙන්න තේරුම් අරගෙන සතුටින් ඉන්නවා නම් එච්චරයි. engagement එක ගත්තට වඩා හොඳට අපි වෙඩින් එකත් අර ගමු “

ශානකගේ අම්මා තමන්ට නැන්දම්මා කෙනෙක් නොවී අම්මා කෙනෙක් වීම ගැන අනූ හදවතින්ම සතුටු වුණා.තමන්ට නොගැලපෙන සම්බන්ධයකින් ඈත් වෙලා තමන්ගේ අනාගතය වෙනුවෙන් උරදෙන සහකාරයකු තෝරාගන්නට තරම් තමන් ශක්තිමත් වීම ගැන අනූට දැනුනේ තමන් ගැනම ආඩම්බරයක්.

බොහෝ දෙනා තමන්ගේ ජීවිත ඇතුලේ නිහඬවම අරගලවල යෙදෙන්නට පුළුවන්.ඒ නිසා ඔවුන් ගන්නා තීරණ පිළිබඳව විවේචනය කරන්නට හෝ අදහස් පළ කරන්නට ඔබ අප කාටවත් ම අයිතියක් නැහැ.සමහරවිට ඔබ පලකරන ඒ අදහසක් නිසා අයගේ ජීවිත වලට තියෙනවා ටත් වඩා හානි පැමිණවෙන්නට පුළුවන්. ඒ නිසා අන් අයගේ තීරණ විවේචනය නොකර ඒවාට ගරු කරනවා නම් කාගෙත් ජීවිත ලස්සන වේවි !

More Stories

Don't Miss


Latest Articles