අලි සුරතල් බලන්න කලාවැව ජාතික වනෝද්‍යානයට යමු

අලි බලන්න කවුද අකමැති? හැමදාම අහල පුරුදු තැන්වලට වඩා අලි සුරතල් බලන්න වෙනස්ම වනඋයනක අත් දැකීමක් ලබාගැනීමට ඔබ කැමති නම් ශ්‍රී ලංකාවේ 23 වන ජාතික වනෝද්‍යානය වන කලාවැව ජාතික වනෝද්‍යානය ඔබට ඉතාමත්ම ගැලපෙන සංචාරක තෝතැන්නක්වනු නොඅනුමානයි.

ලංකාවේ වියළි කලාපයේ වනදහන් වල සිටින අලි ඇතුන් සාමාන්‍යයෙන් ගැනෙන්නේ සංචාරක සත්ව විශේෂයක්‌ ලෙසටය. ආහාර පානාදිය තම මව් කැලයේ ඇති තාක්‌ කල් ඔවුන් එම වනාන්තරයේ රැඳී සිටිති. නියං කාලවලදී ආහාර පාන අඩු වෙමින් පවතින විට එම අවශ්‍යතා ඉටුකර ගන්නට අලි ඇතුන් කරන්නේ කැලයකින් කැලයකට සංචාරය කිරීමයි. රජරට වැව් බැඳි රාජ්‍යයේ අවට කැලෑවල වෙසෙන අලි ඇතුන් නියං කාල වලදී කෑම හා බීම පිණිස රංචු පිටින් ඒකරාශිවී සිටින තැන් කීපයක්‌ තිබේ. පොළොන්නරුවේ මින්නේරිය, කවුඩුල්ල ආදී වනෝද්‍යාන එබඳු සුප්‍රකට නවාතැන් පළවල්ය. රිටිගල, නාච්චදූව, තිරප්පනේ, කැකිරාව, හබරණ උතුර, ගල්ගමුව, ඔයාමඩුව, අනුරාධපුර දකුණ ආදී ප්‍රදේශවල කැලෑවල වෙසෙන අලි ඇතුන් සිය නියං සමය ආරම්භ වන මැයි, ජූලි මාසවලදී ආහාර සොයා පැමිණෙන්නට පුරුදුව සිටියේ කලාවැව හා බළලුවැව කේන්ද්‍රකරගත් කිසිදිනක දිය නොසිඳෙන පරිසර පද්ධතිය වෙතටය. එහි ප්‍රමාණාත්මකව දෙතුන් සියයක්‌ පමණ වන විශාල අලි රංචුවක්‌ ඒකරාශී වුවත් කවුඩුල්ල හෝ මින්නේරිය තරමට ප්‍රසිද්ධ නැත.

කලාවැව හා බළලු වැව යනු වෙන වෙනම වැව් දෙකක්‌ වූවත් වැව් බැම්මෙන් හා ජලාශයෙන් එක වැවක්‌ බවට පත් විසල් වාරි සංස්‌කෘතියකි. මේ දෙක මැදිකරගෙන සරුසාර කැලෑ මණ්‌ඩියක්‌ පිහිටි අතර අතීතයේ පටන් එය හඳුන්වනු ලැබුවේ කහල්ල පල්ලෙකැලේ අභය භූමිය කියාය. කලාවැව ජාතික වනෝද්‍යානය හැඩකරන දළ සහිත ඇතුන්ද ප්‍රමුඛ අලි 400 ක්‌ පමණ වාර්ෂිකව ඒකරාශි වන මේ වැව් කට්‌ටුව ප්‍රමුඛ පරිසර පද්ධතියේ තිබෙන ජෛවීය වැදගත්කම හදුනාගෙන රජය විසින් එය අක්‌කර 6380 ක්‌ පමණ වපසරියක්‌ ඇති කලාවැව ජාතික වනෝද්‍යානය කියා වෙනම වනෝද්‍යානයක්‌ බවට පත්කළේ 2015 ඔක්‌තෝබර් 17 වැනිදාය. එහෙත් ඊට අදාළ පහසුකම් සංවර්ධනයවන මට්ටමේ පවතී.

කලාවැව ජාතික වනෝද්‍යානයට දඹුලු අනුරාධපුර පාරේ මඩාටුගම හන්දියෙන් වමට හැරී, එම පාරේ කිලෝමීටර් 5 ක්‌ පමණ ඉදිරියට ගොස්‌ පුබ්බෙගමුව හන්දියෙන් දකුණට හැරී තව ටික දුරටක්‌ ගිය විට කලාවැව ජාතික උද්‍යානයේ ගලකිරියාගම බීට්‌ටු කාර්යාලය මුණ ගැසෙයි. ඇතුල්වීමට අවසර එතැනින් ලබාගත හැක. ලංකාවේ මින්නේරියේ හෝ කවුඩුල්ලේ වත් දක්‌නට නොලැබෙන අන්දමේ අලංකාර තණපිටි, ස්වාභාවික අලි සුරතල් බලන්නට නිවාඩුපාඩුවේ කලාවැව ජාතික වනෝද්‍යානය යන්නට අනිවාර්යයෙන්ම දවසක් වෙන්කරගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles