හදවත රැක දෙන මාළු

හෘද රෝග ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශරීරයට අහිතකර හෙවත් සංතෘප්ත මේදය රුධිර නාළ තුළ බහුලව තැන්පත් වීමය. බටර්, චීස්‌, ඌරු මස්‌, හරක්‌ මස්‌ ආදියෙහි මෙම සංතෘප්ත මේදය බහුලව අඩංගුය. ගැඹුරු මුහුදේ ජීවත් වන මසුන් ආහාරයට ගන්නේ මුහුදු පැළෑටිය. එම පැළෑටිවල ඔමේගා – 3 ගණයේ බහු අසංතෘප්ත මේදය නිපදවයි. මෙම පැළෑටි ආහාරයට ගන්නා මත්ස්‍යයන්ගේ ශරීරයේ මෙම ඔමේගා – 3 ගණයේ අසංතෘප්ත මේදය තැන්පත් වේ.

ගැඹුරු මුහුදේ ජීවත්වන මත්ස්‍යයන්ගේ බහුලව ඇත්තේ අසංතෘප්ත මේදය බැවින් එවැනි මාළු වර්ග දිනපතා ආහාරයට ගැනීම ශරීරයට අහිතකර නැත. විශේෂයෙන්ම මැකරල්, සාඩින්, හෙරිං, බල, සැමන්, හුරුල්ලා, සාලයා වැනි මාළු වර්ගවල ශරීරයට හිතකර මේදය බහුලව ඇත. අසංතෘප්ත මේදය යනු ශරීරයේ අන්තර් ජනිත cholesterol අඩුකිරීම සඳහා උපකාරී වේ. මේදය ආහාරයට ගැනීමෙන් ශරීරයට අහිතකර සංතෘප්ත මේදය නිපදවීම පාලනය වේ. නමුත් මෙම අසංතෘප්ත මේදය සීමාව ඉක්‌මවා ආහාරය නොගත යුතුය. එය ශරීරයට අහිතකරය.

ලෝකයේ වැඩිම මත්ස්‍ය පරිභෝජනයක්‌ ඇත්තේ ග්‍රීන්ලන්ත එස්‌කිමෝවරුන් අතරය. හිමෙන් වැසුණු එම දේශයෙහි ජනතාවගේ ප්‍රධාන ආහාරය මුහුදු මාළුය. හෘද රෝග අඩුවෙන්ම පවතින්නේ ද ඔවුනටය. ලෝක ජනතාවගේ වාර්ෂික මත්ස්‍යය පරිභෝජනය කිලෝග්‍රෑම් 21 ක්‌ ලෙස ගණනය කර තිබේ.

රට වටේටම මුහුද ඇතත් ශ්‍රී ලාංකික ජනතාවගේ වාර්ෂික මත්ස්‍යය පරිභෝජනය පවතින්නේ කිලෝග්‍රෑම් 15 ක පමණ ප්‍රමාණයකි. කඳුකර ප්‍රදේශයේ ජනතාවගේ මත්ස්‍යය පරිභෝජනය පවතින්නේ කිලෝග්‍රෑම් 10 ක්‌ පමණ අගයකිනි.ගැඹුරු මුහුදේ ජීවත්වන සැමන්, හෙරිං, මැකරල් සහ සාඩින් වැනි මාළු ශ්‍රී ලාංකික අප බහුලව ආහාරයට ගන්නේ ටින් මාළු ලෙසිනි. මෙම ටින් මාළු නිෂ්පාදනයේදී යොදන රසායන ද්‍රව්‍ය නිසා ඒවා වැඩිපුර ආහාරයට ගැනීම පිළිබඳව ගැටලුවක්‌ පවතී. එනිසා ශ්‍රී ලාංකික අපට වඩා හිතකර මාළු වර්ග වනුයේ සාලයා, හුරුල්ලා, බල වැනි මසුන්ය. තලපත්, තෝරා, මෝරා ආහාරයට ගන්නා අයට වඩා සාලයා, හුරුල්ලා, බල මාළු ආහාරයට ගන්න අයගේ හදවත පමණක්‌ නොව සිය මුදල් පසුම්බිය ද ආරක්‌ෂා වන බව මේ අනුව වටහාගත හැකිය.

මෝර මාළුවා ද ගැඹුරු මුහුදේ ජීවත්වන නිසා ඇතැම් දෙනා මෝර තෙල් සහ ගුලි නිතර ආහාරයට ගනිති. මෝර තෙල් නිපදවන්නේ මෝරාගේ අක්‌මාවෙනි. මෝර අක්‌මාවෙහි ජලයෙහි දිය නොවන විටමින් A සහ D බහුලව ඇත. එම විටමින් වර්ග ශරීරයට වැඩිපුර එක්‌වීමෙන් විෂ සහිත වේ. එනිසා හෘද රෝග නිවාරණයට මෝර තෙල් සහ ගුලි ගැනීම සුදුසු නැත. මුහුදු මාළු කෑම ගුණදායක වුව ද ඉස්‌සන්, පොකිරිස්‌සන්, කකුළුවන් වැඩිපුර ආහාරයට ගැනීම ගුණදායක නැත. මෙම මසුන්ගේ ශරීරයට හිතකර මේදය අඩුය. කොලෙස්‌ට්‍රොaල් ප්‍රමාණය අධිකය. එනිසා මාසයකට දෙවරක්‌ පමණ හැර නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නැත.

මේ අනුව හෘදයවස්‌තුව නීරෝගීව තබාගෙන දිගුකල් ජීවත්වීම සඳහා අප වැඩිපුර ආහාරයට ගත යුත්තේ මස්‌ ද මාළු ද කියා දැන් යම් වැටහීමක්‌ අපට ලබාගත හැකිය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles