(අ)හිමි සිහින – 1

මුහුද!

මුහුද කියන්නේ කෙළවරක් නැති දර්ශනයක්. ජීවිතේ වගේ.කොතැන කොහොම අවසන් වෙන්න නියමිත ද නොදන්න ජීවිතේ වගේ මුහුදටත් පරක්තෙරක් නැහැ.පෙණ කැටි ඇවිත් වෙරළේ හැපෙන බිඳෙන හැටි මං බලාගෙන හිටියේ බොහෝ වෙලාවක ඉඳන්.

නෑ! ජීවිතේ මේ මුහුද වගේ නෙවෙයි.මේ එක රළක් වගේ.වෙරළට එන රළ ආපහු මුහුදට යන්නේ තිබුණු හැටියකට නෙවෙයි.ජීවිතෙත් ඒ වගේ.එක සිදුවීමකට පස්සේ ජීවිතේ ආයේ කවදාවත්ම තිබුණු හැටියට තියෙන්නේ නෑ.

තරුපහේ අවන්හල පුරාම හමන විවිධාකාර කෑම වර්ගවල සුවඳට හේතුව මම, ඒ හැම ආහාරයකම තියෙන එකකට එකක් නොපරදින රසට හේතුවත් මම.

“චෙෆ් අනුරාධා.” ඒ මුළු රටම මාව දන්න නම.

අනුරාධා කියන්නේ ඒ චෙෆ්ට විතරද? මං ඇතුළේ හිර වුණු මං එහෙම කෑගහන සද්දෙ මට ඇහෙනවා.ඇත්තටම මහ ගංගාවක් වගේ පෙරළි කර කර ගලා ආපු මගේ ජීවිතේ කතාව ලියන්න මට හිතෙන්නේ අන්න ඒ වෙලාවට.

තමන් තවදුරටත් බටිති කෙල්ලක් නෙවෙයි මල් සමයට අඩිය තියන්න බලන් ඉන්න ළමිස්සියක් කියලා හිතන දහතුන් හැවිරිදි කෙල්ලක් මගේ ඇස් ඉස්සරහ හිනා වෙනවා මට පේනවා.ඒ හිනාව එක්ක අතීතයේ ඇවිදින්න මට හරි ලේසියි.ඇත්තටම ලේසි නෑ.ඒක නෙල්ලි රහ අතීතයක්.ඒත් ඇවිදන් යා යුතුම අතීතයක්.මගේ කතාව රිදෙමින් නැගිටින්න,ආයෙම වැටෙද්දී හිනා වෙන්න ගෑනු දරුවන්ට කියා දෙන කතාවක් වෙයි කියලා මට හිතෙනවා.මම විශ්වාස කරනවා.

“චෙෆ්ගේ අත් ගුණය මාරයි..ගෑවුණත් ඇති..”

එහෙම කියන අය නොදන්නා කතාව තමයි අත් ගුණයට වඩා මගේ හිතේ ගුණය වැඩියි කියන එක.දරා ගනිමින් උහුලා ගනිමින් ආ ජීවිතයේ මගේ හිත මට නොවැටී ඉන්න උදව් කළ විදිය.

වෙරළ පුරා විවිධාකාර මිනිස්සු ඉර ගිලෙන හැන්දෑවේ ජීවිතේ සරතැස බිමින් තියනවා.මම මගේ ජීවිතය බිම තියෙන්නේ මේ කතාවෙන්.කාලයක් පුරා නොකියූ නොලියූ මේ කතාව කොතැනක හෝ ලියවීම මට සතුටක්.ජැක්-රෝස්,වීර්-සාරා,දම්මි-සුගත් ඔය මොන කතාවක වුණත් තැවරුණු ආදරය මේ කතාව පුරා තියෙන බව ඇත්ත.ඒත් මේ කතාවේ ගැහැනු ළමයා තරමට ආදරයක් හින්දා දුක උහුලපු කෙල්ලක් ඒ මොන ප්‍රබන්ධයකවත් හමු නොවුණු බව මේ කතාව ලියවිලා ඉවර වෙන දවසක ඔබට හිතෙයි.

ආදරය කියන්නේ රස ගොඩක එකතුවක්.චොකලට් අයිස් ක්‍රීම් එකක් තරමට මිහිරි රසක් නැති,කරවිල වගේ තිත්තත් නැති, අමු අඹයක් තරමටම ඇඹුලත් නැති ආදරයට විරහව,අත් හැරීම,සමාව දීම,සටන් කිරීම එකතු වෙනකොට මොන රස වේවිද?

“ඉතින් මේක මාර ආදර කතාවක්.”

අවුරුදු දහතුනක නව යෞවනියක් මගේ හිත උඩින් අඩි තියමින් මාව වසර ගණනාවක් ඈතට අරගෙන යනවා.පවුලේ බොහොමයක් දෙනා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ අය වීම නිසා “රණවිරු කතා” අහමින් හැදුණු ඇය ඇගේ ජීවිතේ සුන්දරම දවසක් මට සිහිපත් කරනවා.

ඒ ඔහු ගැන මුලින්ම මම දැන ගත්තු දවස.

ස්නයිපර් වෙඩික්කරුවන්ගේ පුහුණු පාසලේ වගකිය යුතු නිලයක් දැරූ ඥාති සහෝදරයෙක් අපේ නිවසට ආවේ එදා.ඒ මීට වසර විසි ගණනකට එහා දවසක.එක්දහස් නවසිය අනූ ගණනක් කැලැන්ඩර මත ලියවුණු දවසක.ජම්බු ගහකින් පත බෑවී තුරුණු හැඟීම් මිට මොලවාගන්න සූදානමින් මඟ බලමින් හිටි මට ඔහු ළඟ තිබී අපූරු වස්තුවක් මුණ ගැහෙනවා.

“ඒ රහස්‍ය ලිපි ගොනුවක්”

අවුරුදු දහතුනක කෙල්ලෙකුට ඒ වගේ දේකින් පලක් නෑ.ඒත් හැමදෙයක්ම හාරාවුස්සා බලන වයසේ වැරැද්ද ඉස්මතු වෙන්න වැඩි වෙලාවක් ගියෙත් නෑ.ඒ රහස් ලිපි ගොනුවේ එකිනෙකාගේ විස්තර තියෙනවා.නිලධාරින් විසි ගණනාවකගේ විස්තර මම බැලුවේ පුදුම කුතුහලයකින්.නමුත් ඒ හැම කෙනෙක්ම රැවුල් උඩට කැරකුණු,නපුරු මුහුණු තියන අය.පොඩි කෙල්ලෙකුට බය හිතෙන මුහුණු තියන මිනිස්සු.අවුරුදු තිස් ගණන්වල දරදඬු පෙනුම තියන අය ගැන මට ඇති වුණේ තිගැස්මක් විතරයි.

ඒත් දෛවය ඒ මොහොතේ මගේ අනාගත ඉරණම ලියමින් හිටියා.මම නොනවත්වාම ඒ පොත පෙරළාගෙන ගියා.නපුරු මුහුණු අස්සේ අහිංසක පෙනුමක් තියන වචනයේ පරිසමාප්තියෙන්ම සිරියාවන්ත මුහුණක් මතු වුණේ එකපාරටම.බොහෝ වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු මම ඒ තරුණයාගේ විස්තර කියෙව්වා.

“සුධාරක විතානගේ”

දෛවය ඔහු මගේ ඇස් ඉදිරිපිටට අත හරින්නේ එහෙමයි.දුටුමතින් බැඳෙන ආදරය! ඔබ එහෙම දේවල් විශ්වාස කරනවද කියන්න මම දන්නේ නැහැ.නමුත් අවුරුදු දහතුනක අනුරාධා ඔහු දුටුමතින් ඇති කරගන්නේ ආදරයක්! ඒ හැඟීම අනිත් කෙල්ලෝ නළුවන් ගැන ගායකයන් ගැන ක්‍රීඩකයන් ගැන කියන “ක්‍රෂ් එකක්” නෙවෙයි.ආදරයක්.මම ඔහු ගැන ප්‍රේමයකින් අලුත් වෙන්න පටන් ගත්තා.

පෙර කිසි දා ඔබ හමුවී නැතිබව
ඉඳුරා කියත හැකි…
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති…

මට ඒ ගී පද අදටත් ඒ මොහොත වෙනුවෙන් වෙන් කරන්න පුලුවන්.කිසිදා දැක නැති හමු වේදැයි කිව නොහැකි ඔහු ගැන හදවත පිරී යන ආදරයකින් මම මුසපත් වූයේ ඒ පෞද්ගලික ලිපි ගොනුවේ දුටු එකම එක ඡායාරූපයට.සංසාර බැඳීම් ගැන මට අප්‍රමාණ විශ්වාසයක් ඇති වන්නේ ඒ නිසාමයි.

මේ නොදන්නා තරුණයා ගැන දැන ගන්නේ කොහොමද කියලා මගේ හදවත පෙරළි කරන්න ගත්තේ ඉන්පසු.මම එයට ක්‍රමයක් කල්පනා කරා.

“මේ කවුද..මෙයා කොහෙ කෙනෙක්ද?”

මං මගේ අයියාගෙන් ඒ නොදන්නා තරුණ මිනිස්සු ගැන විස්තර අහන්න පටන් ගත්තා.හිච්චි කෙල්ලෙක් මේ කතාව අහන එකේ අරුමය ගැන වැඩිය නොහිතපු මගේ සහෝදරයා එක් එක් අය ගැන විස්තර මට කියන්න පටන් ගත්තා.ඒ පෞද්ගලික ලිපි ගොනුවේ උස බර ගැන පවා විස්තර තියෙන නිසා මට සුධාරකගේ විස්තර කටපාඩම් වෙලා තිබුණත් මං ඔහු ගැන අයියාගෙනුත් ඇහුවා.

ඔහුගේ හමුදා කඳවුර තියෙන්නේ දියතලාවේ.කිසිදා නුදුටු මගේ සිහින ප්‍රේමවන්තයාට ලිපියක් ලියන්න මට අහඹු සිතුවිල්ලක් හට ගත්තා.වැඩිදුර නොහිතා මම ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න හිතුවේ ඒ වයසට එන නාහෙට නාහන සිතුවිලි වල බලය නිසාම වෙන්න ඇති.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content