පේර වගාකරන්නේ මෙහෙමයි

පේර කන්න කවුද අකමැති? උසස්‌ ගුණාත්මයේ පේර සඳහා සතුටුදායක දේශීය මෙන්ම විදේශීය ඉල්ලුමක්‌ පවතී. එනිසා දැනට එතරම් අවධානයක්‌ යොමුවී නැති පේර වගාව සඳහා වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම වැදගත්ය. පේර තෙත් දේශගුණික තත්ත්ව පවතින ප්‍රදේශවල මෙන්ම වියළි හා අතර මැදි කලාපීය ප්‍රදේශවල ද වගාකළ හැකිය. මිලි මීටර 1000 – 4000 දක්‌වා පවතින මුහුදු මට්‌ටමේ සිට මීටර් 1500 – 2000 පමණ දක්‌වා ප්‍රදේශවල පේර වගා කළ හැකිය. කාබනික ද්‍රව්‍ය මැනවින් පවතින හොඳින් ජලවහනය වන පස්‌ සහිත ඉඩම් වඩා සුදුසුය. එම වගාව තද මැටි සහිත පස්‌වල මෙන්ම වැලි පස්‌වලද වගා කළ හැකිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හොරණ රතු, හොරණ සුදු, පුබුදු, කාන්ති, ලංකා ජයන්ට්‌, හොරණ ස්‌වීට්‌, රෙඩ් ජයන්ට්‌ සහ හොරණ රෝසි යන පේර වර්ග වගාව සඳහා නිර්දේශ කර ඇත. ගෙවතු වගාවක්‌ වශයෙන් පේර වගා කරන බොහෝ අවස්‌ථාවල දී යොදා ගන්නේ බීජ පැළය. එනිසා එවැනි ගස්‌වල හටගන්නා ගෙඩිවල ගුණාත්මක බව බොහෝ විට වෙනස්‌ වේ. උසස්‌ ගුණාත්මයක්‌ සහිත ගෙඩි හටගන්නා ගසක පවතින ලක්‌ෂණ එලෙසින් පවත්වා ගෙන යැම සඳහා බද්ධ කිරීම සහ ලේයර් මගින් පැළ සකස්‌ කර සිටුවා ගත හැකිය. පේර බද්ධ කිරීම සඳහා බොහෝවිට යොදා ගන්නේ පැලැස්‌තර (පැච්) බද්ධ ක්‍රමයයි. මෙයට අමතරව චිප් බද්ධය, රිකිලි බද්ධය, සමීප බද්ධය වැනි බද්ධ ක්‍රම ද යොදා ගත හැකිය.

කාබනික පොහොර සහ රසායනික පොහොර යොදා නිසි අයුරින් නඩත්තු කළ වගාවන්හි සාමාන්‍ය පාලන තත්ත්ව යටතේ බීජ පැළ සිටුවා වසර 2 කදී පමණද, බද්ධ පැළ සිටුවා වසර 1 කට පසුවද ඵල හට ගැනීම ආරම්භ වේ. ගෙඩිවල පැහැය තද කොළ සිට ලා කොළ – කහ පැහැයකට හැරෙන අවස්‌ථාවේදී පේර වගාවේ අස්‌වැන්න නෙලා ගැනීම සුදුසුය. අස්‌වනු නෙලීමේදී ගෙඩිවලට හානි නොවීමට කටයුතු කළ යුතු අතර නටුව සමග ගෙඩි නෙලා ගැනීම වැදගත් වේ. බද්ධ පැළ සිටුවා හොඳින් නඩත්තු කළහොත් වසර 6-8 කට පසු එක්‌ ගසකින් ගෙඩි කිලෝ ග්‍රෑම් 45 -50 පමණ අස්‌වැන්නක්‌ වසර තුළදී ලබා ගත හැකිය. සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ පේර ගෙඩි දින 6ක්‌ පමණ කාලයක්‌ සාර්ථකව ගබඩා කර ගත හැකිය. බලන්න ඔබටත් මේ අනුව ගෙවත්තේ සාරවත් පේර වගාවක් සිදුකල හැකිද කියා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles