පුදුම මිනිස්සු.

“ඊයේ අපේ පුතාලගේ කොන්සර්ට් එක බලන්න ගියාම මාරම විකාරයක් දැක්කනෙ..”

මධූ එහෙම කියාගෙන ආවේ අලුත් ඕපාදූපයක් මුණ ගැසීමේ රසය කාර්යාල මිතුරියන් එක්ක බෙදා ගන්න.පෙර පාසල් කොන්සර්ට් එකක අපූරු දේවල් ඕන තරම් වෙන්න පුලුවන් නිසා හැමෝම මධූ වටේ එකතු වුණා.

“කෝ සජානා..ඇවිල්ලා නැද්ද?”

කතාව පටන් ගන්න කලින් මධු හිස හරවලා ඕපාදූපය සුරක්ෂිතව කියන්න තියන ඉඩ ගැන හොයල බලනවා.සජානාගේ පුතා සහ මධූගේ දුව එකම පාසලේ කියලා මතක් වුණු නිසා හැමෝම මේ ඕපාදූපයේ අයිතිය සජානාට බව තේරුම් ගත්තා.

“නෑ නේද? එයා ට්‍රිප් එකක්‍ යන්න නිවාඩු ගත්තා..”

නිලූ වහාම කියලා කතාවට ඌණපූර්ණයක් එකතු කරන්නත් අමතක කරේ නෑ.

“එයාගේ හනිමුන් සීසන් එක තාම ඉවර නෑ වගේ..”

හැමෝම උස් හඬින් හිනා වෙන්න පටන් ගත්තා.කාලෙකින් කොහේවත්ම නොගිය,ඒ නිසා හස්බන්ඩ්ලා එක්ක තරහින් ඉන්න නෝනලා කළේ සජානාට හිනා වෙමින් හිතේ පීඩනය මකා ගන්න එක.තමන් ආරම්භය ගත්තු කතාව නිසා සජානාට හිනා වෙන්න විවිධාකාර හේතු ලැබීම ගැන මධූටත් දැනුණේ පුදුම සතුටක්.

“අහන්නකෝ ඉතිං..ඊයේ එයාගෙ එක්ස් හස්බන්ඩ් ඇවිල්ල හිටියනෙ.ඉස්කෝලෙ කොන්සර්ට් එකට..”

මදූ ඒ ආරංචිය හැඩ කරලා රහ කරලා කියනකොට හැමෝම හිනා වෙන්න පටන් ගත්තා.මේ කුණු රහ කතාවට ප්‍රතිචාර නොදක්වා තමන්ගේ වැඩක හිටිය චාමිනී ඇස් දෙක උස්සලා මිතුරියෝ දිහා බැලුවේ ඒ වෙලාවේ.

gossping
Gossip woman telling secret to her happy friend

“ඉතින්? නාරද අයියා තමන්ගේ දරුවගේ උත්සවේකට එන එක මාර දෙයක්ද? ඊයේ අකේන් පුතාගේ පියානෝ ප්ලේ එකකුත් තිබ්බලු.එහෙම වැදගත් දෙයක් බලන්න තාත්තා එන්නම එපැයි..”

චාමිනී එහෙම කියනකොට මධූ උරහිස් ගස්සලා හිනා වුණේ තව දේවල් තියනවා කියන්න වගේ.

“ඉතින් එහෙම ආවට කමක් නෑ.සජානා එක්ක මාරම කදයක් දාගෙන හිටියෙ ඒ මනුස්සයා.අපි එච්චර කසාද මනුස්සයා එක්කවත් කියවන් නෑ.ඔයාට කියන්න පුදුමම කයියක්..හිනා වෙවී..මේ උසාවි ගිහින් ඩිවෝස් වුණේ අපිද හිතුණා මට..”

හැමෝටම ඒ ආරංචිය මහ පුදුම කතාවක් වුණා.සජානා ඩිවෝස් වීමේ ආරංචියත් ඔය වගේම වුණු හැටි මතකයි.ඒත් සජානා කාටවත්ම හේතුව කිව්වේ නෑ.

“ඒක අපේ පෞද්ගලික තීරණයක්..”

එච්චරයි! මොනතරම් ඇහුවත් දික්කසාද වෙන්න හේතුව සජානා අදටත් කාටවත්ම කියලා නෑ.තමන්ගේ පෞද්ගලික අවකාශයට එන්න එපා කියලත් මතක් කරන්න සජානා වග බලා ගත්තේ සමහරු ඒ ගැන වටෙන් ගොඩින් හොයන්න ගත්තට පස්සේ.ඉන්පස්සේ නාරද විවාහ වුණා.ඒ කියන්නේ කසාදෙට හේතුව අනියම් සම්බන්ධයක් කියලා හැමෝම නිගමනය කරන්න ගත්තා.

“මම කැමති නෑ ඔයාලා නාරදට කැත කතා කියනවට.අපි අතරෙ සම්බන්ධය දැන් මොකක් වුණත් ඒ මගේ පුතාගෙ තාත්තා..”

සජානා එහෙම කියපු දවස මධූට තාම මතකයි.ඒ නිසා තමයි මේ තරහ තවත් දැනෙන්නේ.

“ආපහු දෙන්නා සෙට් වෙයිද දන් නෑ..”

නිලූ එහෙම කියලා සද්දෙට හිනා වුණා.

“එයාලා ආවේ බබාගේ දේකටනම් එතන පුම්බගෙන ඉන්නයැ. බබා සම්බන්ධයෙන් කතා කරන්නත් කොව්චර දේවල් තියෙන්න ඇතිද?”

චාමිනී නම් කියයි.අකමැති නම් තමයි මිනිස්සු වෙන් වෙන්නේ..ආයේ අල්ලගෙන ඉන්න දෙයක් කොහොමටවත් තියෙන්න බෑ.

“ඒක නෙවෙයි ලස්සනම දේ.මෙන්න බොලේ ෆේස්බුක් එකට ෆොටෝ එකකුත් දාලා..”

ජයන්ති අලුත්ම ඕපාදූපය හැමෝටම පෙන්නුවා.නාරදත් සජානාත් දරුවා එක්ක ෆේස්බුක් එකට ඡායාරූපයක් එකතු කරලා කියල හැමෝම පුදුම වෙන්න පටන් ගත්තා.

Three friends amazed watching a smart phone sitting on a couch at home

“දාලා ගිය කොල්ලව පවා අපිනම් බ්ලොක් කරනවා..ඒකට මුන්..ෆේස්බුක් ෆොටෝත් ටැග් කරගන්නව..”

අතැර පලා යන ප්‍රේමවන්තයෙකු සහ නීතියෙන් වෙන් වූ සැමියෙක් අතර වෙනස මේ අය නොදැනීම ගැන චාමිනීට හිනාවක් සමඟ දුකක් ගෙන ආ සිදුවීමක්.ඇත්තටම දරුවාට අම්මා තාත්තා හතුරන් නොවීමම සැනසිල්ලක් කියලා චාමිනි නම් හිතුවා.පෞද්ගලික කාරණාවකට යුවලකට වෙන් වෙන්න සිදුවීම ස්වභාවික විය යුතුයි.නමුත් ඔවුන් දරුවන්ගේ කාරණා සම්බන්ධයෙන් එකට සිටීම මොනතරම් සුන්දර දෙයක්ද?

“අපේ මිනිස්සු නම් ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක පොඩ්ඩක් හිනා වුණත් කන්න හදනවා.සජානාගෙ අලුත් හස්බන්ඩ් මොකෙක්ද මන්දා.එහෙම නාරදත් එක්ක ගනුදෙනු තියාගන්න දෙන්න ඒ මිනිහට ලැජ්ජාවක් නැත්නම් අපේ මොකද?”

නිලූ එහෙම කියන්නේ හිත සනසා ගන්න කියලා අනිත් අයට නැතත් චාමිනී හිතුවා.චාමිනී හැමෝම දිහා බැලුවේ ලොකු කතාවක් කියන්න හිතමින්.

“මේ අහන්න..අපේ රටේ තියන නරකම නරක දෙයක් තමයි මිනිස්සු හිතනවා දෙන්නෙක් වෙන් වුණාට පස්සේ නයි මුගටි වෙන්න ඕන කියල.එහෙම එකක් නෑ.මිනිස්සු එහෙම ඉන්න එකයි අවුල.පවුලක් කැඩෙන්න අවශ්‍ය නෑනෙ එකට ඉන්න බැරි ජෝඩුවක් වෙන් වුණාට.දරුවන්ට එයාලා හැමදාටම අම්මයි තාත්තයි.අම්මයි තාත්තයි හතුරුකමින් ඉන්නවට වඩා දරුවන්ගේ දේට හරි එකමුතුව ඉන්නවනම් එතන තමා දරුවා ගැන හිතිල්ල තියෙන්නේ.”

හැමෝම මුහුණට මුහුණ බලා ගත්තා.සමහරු ඒ වචන පිළි ගත්තට සමහරුන්ට නම් ඒ කතාව ගැන සැකයක් ඇති වුණා.

“ඔයාලා ඒ දවස්වල කිව්වා නේද එයාලා වෙන් වෙන එක පුතාට බලපායි කියලා.ඇත්තටම එහෙම දෙයක් නෑ.ඇත්තටම වෙන්නේ දෙමව්පියෝ මරාගන්න එක ළමයින්ට හිරිහැරයක් වෙන එක.ගැටුම් නැතුව අයින් වෙලා එයාලා ඔහොම හරි හොඳින් ඉන්නවනෙ..”

උදේ ඉඳන් සැමියා එක්ක පැටලෙන්න හේතු හොයන,තිස්සෙම වැරදි හොයන සැක කරන ගැහැනුන්‍ට චාමිනීගේ වචන සැරට දැනුණා.හැබැයි ආයේ අනුන්ගෙ ජීවිතේ විවේචනය කරන්න හොඳ නෑ කියලත් බොහෝ දෙනෙකුට නොහිතුණා නෙවෙයි.

More Stories

Don't Miss


Latest Articles