(අ)හිමි සිහින – 14

දෙදහස වසරේ දික්කසාදය මට ලැබෙන්නේ එහෙම.දරුණු ලෙස යුද්ධය පැවති කාලයක සුධාරක ජීවතුන් අතර ද නැතිව ද පවා නොදැන මම ඔහුගෙන් එසේ වෙන් වෙන්නේ.

වර්ෂ ගණනාවකට පසු මට ඔහු දවසක් මුණ ගැහුණා.එදා වෙනතෙක්ම ඔහු සිතා සිටියේ මා ඔහු හැර ගිය බවක්.

“ඇයි මැණිකේ මාව දාලා ගියේ..”

ඔහු එදා විමසුවා.

මේ කතාව ඔබ විශ්වාසයට පවා ගන්නා එකක් නැති බව මට ස්මාර්ට්ලේඩි කණ්ඩායම කියනවා.ත්‍රාසය සහ ප්‍රේමය එකට යන මෙවැනි කතාවක් කල්පිත තුළ ඕනෑතරම් ඔබ දැක ඇති.නමුත් මේ සැබෑ කතාවක්.මා මේ තරම් දුක් කන්දක් ඉහිලුවාදැයි මේ වන විට ජීවිතයේ ඉසිඹු ලන මටම පුදුම හිතෙන තරම්.

අපි ගැහැනු.අනන්තාපරිමාණ දුක් ඉසිලිය හැකි ගැහැනු.ඔබටත් මෙවැනිම කතා ඇති නම් අපි ඒවා බෙදා ගනිමු.

සුධාරක ඒ වෙනවිට තමන්ගේ දේවල් සෑහෙන තරමට උපයා ගත්තෙක්.යුධ හමුදාවේ ඉහළ නිලධාරියෙක්.අර ඉඩකඩම් සියල්ලත්,වැටුපත් කොහේවත් යන ගෑනියෙකුට නොලැබෙන්නට ඔහුගේ අම්මා අපේ ආදර කතාව එසේ ගිනිබත් කළා.සුධාරකට මගෙන් තොර ජීවිතයක් නැති බව නොදන්නා අම්මා නම් ගැහැනිය ඔහුගේ හදවත අමු අමුවේ ගලවා දැමුවේ එසේ බව සිහි වෙද්දී තවම හදවත ඇදුම් කනවා.

මම හිතන්නේ ඔවුන් සුධාරකට පසුව කියා තිබෙන්නේ මම ඔහුගෙන් දික්කසාදය ඉල්ලූ බව.මම ඔහු හැර දැමූ බවක්.ඔහු ඉන් කොපමණ විඳවා ඇත්දැයි සිතන්නට පවා මම අකමැතියි.

සුධාරක ඉන්පසු කෙළවරක් නැතිව බීමට ඇබ්බැහි වී තිබෙනවා.මෙහෙයුම්වල නොයෙදෙන සෑම මොහොතක්ම අසිහියෙන් ඉඳීම තෝරා ගත් ඔහු මා අමතකව යන තරමට මත්පැනට ලොල්වී තිබෙනවා.නමුත් ඔහු විශාල වශයෙන් යුධ ජයග්‍රහණයන් අත්පත් කරගත් බවත් නොකියාම බෑ.මගෙන් තොරව ජීවිතයක් නැති නිසා මිය යන්නට සිතමින් ඔහු සතුරු කඳවුරුවලට වැඩි වැඩියෙන් කඩා පැන තිබෙනවා.නමුත් සතුරාට පරාජය මිස ඔහුට මරණය ඉන් අත් වී නැහැ.ජීවිතය ගැන පවා නොසලකා ඔහු කළ ඒ මෙහෙයුම් රටේ ඒකීය භාවයට හේතු වීම මට එක්තරා ආකාරයක සතුටක්.

දෛවය අපේ ජීවිත ගැන තීරණ ගන්නා ආකාරයක් තිබෙනවා.එනිසා යුද්ධය සුධාරකට ජීවිතේ අහිමි කරේ නෑ.ඉන් වසර නවයක් ගෙවෙන තුරුම මා ඔහු දුටුවේ නැහැ.දුටුවේ නෑ කියන එකත් එක්තරා අසත්‍යයක්.මම ඔහුව ජීවමානව දුටුවේ නෑ.සුධාරක අවසන් මානුෂීය මෙහෙයුමේ ප්‍රබල බල කණුවක්.ඔබ කඳුළු පිරි දෑසින් බලා සිටි බොහෝ මෙහෙයුම් ඔහුගේ නායකත්වය යටතේ සිදු වූ දේවල්.ඉතින් මම දිනපතාම රූපවාහිනි තිරයෙන්, පුවත්පත් මඟින් ඔහුගේ වීරත්වය දුටුවා.

මේ කතාව අතිශය ඛේදනීය එකක් බව මම කියනවා.නමුත් යුද්ධය නිසා තමන්ගේ සමීපතමයන්ගෙන් ඈත් වෙන්නට සිදු වූ රණවිරුවෝ මෙවැනි බොහෝ ඛේදනීය දුක් උහුලන්නට ඇති බව මම හිතනවා.එපමණකට වේදනාත්මක කතා මේ මහ පොළොවේ ඕනෑතරම් ඇති.

දික්කසාදයට පසු මම ඔහු ගැනවත් ඔහු මම ගැනවත් විපරම් කළේ නැහැ.දෛවය අපේ වෙන් වීම තීරණය කළ බව මම වගේම ඔහුත් හිතන්න ඇති.

හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන් වී යයි..

ඔබේ සිහිනවල මා හිඳී
මගේ සිහිනවල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ..

මේ ඉතා මෑතක ඇසූ ගීයකින් කොටසක්.නමුත් අපේ කතාවේ එක් පරිච්ඡේදයක් මට එතුළින් ඇසෙනවා.

අපි පතා ආ පරිද්දෙන්ම මුණ ගැසී වෙන් වෙද්දී මනාලියක වී මගේ නිවසින් නික්ම යන කාලය මට උදා වුණා.

අසංක,ඔහු මගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය බාර ගන්නට සැදී පැහැදී බලා සිටියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles