(අ)හිමි සිහින -17

අසංකගේ දවසින් වැඩි කාලයක් ගත වුණේ පත්තර කියවන්න.ඔහු වෙළඳ ප්‍රචාරක අංශයට සම්බන්ධ ව්‍යාපාරයක් කළ නිසා වෙන්න ඇති හැම පත්තරයක්ම අකුරක් නෑර කියවන්න ඔහු වග බලා ගත්තා.සතිය පුරා නිකුත් වෙන හැම පත්තරයක්ම පිටුවක් නෑර කියවන අමුතු කෙනෙක් තමයි අසංක.

ඒ ඇරුණම අසංකට තව අමුතුම අමුතු පුරුද්දක් තිබ්බා.ඔහුට බත් කන්න බෑ.විශ්වාස කරත් නැතත් අසංක බත් ඇටයක රස බලන මනුස්සයෙක් නෙවෙයි.අපි පිටතින් කෑම ගන්න ගියත් නිවාඩුවක් ගත කරන්න ගියත් බතක් යන්තම් හෝ මුහු වුණු තැනකින් ඔහු ඉවත් වෙන්නේ භූමිතෙල් වැදුණු සර්පයෙක්ගෙ ලීලාවක් මට මතක් කරමින්.

ඉතින් ඇත්තටම අසංක අමුතු මනුස්සයෙක්.

සුධාරක අත හැරලා ගිහින් ගුටි කමින් අපායක ජීවත් වෙන අනුරාධා කෙනෙක් ගැන කියවන්න ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න ඇති.

නැහැ! අසංක ඒ තාලේ මිනිහෙක් නෙවෙයි.

නමුත් මං නුවර පදිංචියට ගියාට පස්සේ මගේ පැවතුම් වෙනස් කර ගත්තා.ඉස්සර මම බොහොම විලාසිතා කරපු කෙල්ලක්.ඒ කාලයේ ජනප්‍රිය වෙන හැම විලාසිතාවක්ම කරපු කෙල්ලක් වුණු මට මිතුරියන් සරදම් කරපු තැන් පවා තිබුණා

“මේකිව බැන්දට අපේ අයියට ලොකු වියදමක් යන් නෑ..මොකද ඉතින් රෙදි වියතනෙ ඕන..”

සුධාරකගේ නංගිලාත් ඒ කාලේ මට හිනා වෙන්නේ එහෙම.මම අදටත් ලස්සනට අඳින විවිධ විලාසිතා කරන පොඩි කෙල්ලො දැක්කම සතුටු වෙන්නේ ඒකයි.

“මේ ළමයි අඳින විකාර..”

මගේ මිතුරියන් කියනවා.මිලාධික ආලේපන ගල්වන තමන්ගේ දියණියන්ට දොස් නඟනවා.තද පැහැති වර්ණ හිසකෙස්වල ගැල්වීම ගැන විස්සෝප වෙනවා.ඒත් මට කියන්න තියෙන්නේ සරල කතාවක්.

“ඔය වයසට නොකරන දේවල් කවදා කරන්නද?”

මම උඩරට පවුලක ලේලි වුණාට පස්සේ වියතක තරමේ ඇඳුම් අත හැරියා.ඔසරි අඳින මාල හත දාන ගෙදරටත් උඩරට මැණිකේ වෙස් ගත්තු නැන්දම්මා කෙනෙක් එක්ක එහෙම කරන්න මට මොකක් හරි චකිතයක් තිබුණා වෙන්නත් ඇති.

“අක්කා වගේ පුංචි කාලේ ඉඳන් කොන්ද කෙලින් තියන් හිටපු කෙල්ලක් කසාදෙන් පස්සෙ සාම්ප්‍රදායික වුණා නේද?”

ස්මාර්ට්ලේඩි කණ්ඩායමේ නංගි මගෙන් අහන්නේ හිනා වෙවී.අලුත් පන්නයේ කෙල්ලන්ට නොතේරෙන්නේ ඔන්න ඔය දේවල් කියලා මං එයාට පැහැදිලි කරන්නේ හිනා වෙන ගමන්.අපි සමහර අනුවර්තනයන් කරන්න ඕනෑ බයකට නෙවෙයි.ගැටළු ඇති විය හැකි තැන් අවම කරගන්න ගෑනියෙක්ට පුංචි පහේ කපටිකමක් තියෙන්නම ඕනෑ.

“අක්කා අක්කව නැති කරගත්තා නෙවෙයිද?”

මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙත් නෑ කියලා.මම මගේ තවත් වර්ෂන් එකක් හොයා ගත්තා.ඕනෑම පොළොවක නොනැසී පවතින්න අනුරාධා කියන යකඩ කෙල්ලට පුලුවන් කියලා මම තේරුම් ගත්තා.

“ඒ පවුලේ හැම ගෑනු ළමයෙක්ම එහෙම දිගට අඳින සංවර කෙල්ලොද?”

තවත් ප්‍රශ්නයක්! ඒකටත් උත්තරය නැහැ කියන එක.අසංකගේ පවුල රටේ නම ගිය දේශපාලඥයන්ගේ දරුවන්ගෙන් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ගෙන් පිරුණු එකක්.ඉතින් ඒ පවුලට එකතු වුණු සමහර ලේලිලා මධුරි ඩික්සිත්ලා කාජල්ලා පරද්දන තරමේ විලාසිතා කරා.ඒ එයාලාගේ විදිය.ඒත් මට ඕනෑ වුණේ එතැනින් එහා ජීවිතය සංවරව ගෙවන්න.

අනුරාධා සාම්ප්‍රදායික වයිෆ් කෙනෙක් වෙලා සතුටින් හිටියානම් මෙතැනින් එහා මොනවා කියවන්නද? දැන් ඔයාලා එහෙම හිතනවා නේද?ඇත්තටම එහෙම නොවුණ එක තමයි මෙතන තියන කතාව වෙන්නේ.

“And they lived happily ever after”

සුරංගනා කතා ඉවර වෙන ජනප්‍රියම වාක්‍යය අන්න ඒක කියලා ඔයාලට මතක ඇති.ඒත් මේ අනුරාධාගේ කතාවට ඒ වාක්‍යය පවරන්න හදිසි වෙන්න එපා.ජීවිතේ කියන්නේ නෙල්ලි ගෙඩියකට බව මම මේ කතාව පටන් ගනිද්දිම කිව්වා ඔබට මතක ඇති.

ඔව්! සිනහ නැඟේ කඳුළු නැගේ එයයි ජීවිතේ කියලා සෝමතිලක ජයමහ කිව්වේ කට කහනවට නම් නෙවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles