(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම් සාම්ප්‍රදායික ලේලියක් වෙන්න මට හිතුණද කියලා කියන්නත් මම ඊයේ පොරොන්දු වුණා.හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ හරියටම ලැබෙන්නේ මම අසංකට ආදරය කළාද නැද්ද කියන කාරණාව උඩ.

මම අසංකට කවදාවත් ආදරය කළේ නෑ! අසංක මටත් කවමදාවත් ආදරය කරන්න නැතුව ඇති.

හැබැයි අපි රණ්ඩු කරපු මරාගත්තු අඹුසැමි යුවළක් නෙමෙයි.ඒ කාලේ මට හිටපු හොඳම යාලුවා කවුද කියලා ඇහුවොත් දෙවතාවක් නොහිතා මම කියන්නේ අසංක කියලා.අපි පුදුමාකාර විදිහට සංවාද කළා.දේශපාලනය ගැන, කලාව ගැන ලෝකයේ තියෙන පුදුම තරම් දේවල් ගැන අපිට කතා කරන්න දේවල් තිබුණා.ආදරය ගැන කිසිම දෙයක් කතා නොකර අනිත් හැමදේම ගැන අපි කතා කළා.

“මේක මාර චිත්‍රපටියක්”

අසංක එහෙම කියනකොට ඒ චිත්‍රපටිය තවදුරටත් සුන්දර වෙන්න මේ වගේ කාරණාත් එකතු වෙන්න තිබ්බ කියලා මම එයත් එක්ක තර්ක කළා.

“අසංක මේක අහල බලන්නකෝ මාරම ලස්සන සිංදුවක්..”

මම හොයාගෙන එන සින්දු ගැන බුද්ධිමය සංවාද අසංකත් මාත් ඇති කරගත්තා.රෑ එළිවෙනකම් වුණත් සාහිත්‍ය ගැන අපි කතා කළා.රටේ දේශපාලනය මොන විදියට වෙනස් වෙන්න ඕනිද කියලා මම කියද්දි අහගෙන හිටියා.ගෑණුන්ට මොන දේශපාලනය ද වගේ පසුගාමී අදහස් නැතුව අසංක මාත් එක්ක තර්ක කළා.

ආදරය කරන්න කෙනෙක් නැති වුණත් හොඳම යාළුවෙකු වගේ සැමියෙක් ලැබීම එක් අතකට මගේ භාග්‍යයක්.

කොහොමටත් එක එක වයස අයගේ සපත්තුවට බැහැලා ඒ ඒ අයට ගැළපෙන කතා හොයා ගෙන කයිය ගහන්න මට තිබ්බ හැකියාවත් සතුටින් ඉන්න මට ප්‍රයෝජනවත් වෙන්න ඇති.අසංකගේ පවුලෙ හැමෝම මාත් එක්ක අරගෙන ගියේ කිට්ටු සම්බන්ධයක්.ඒ කවුරුත් “අහංකාර ගෑනියෙක් ආඩම්බර ගෑනියෙක් මොන කරුමෙකට ලැබුණ ගෑනියෙක් ද මන්ද”වගේ කතා මට කිව්වේ නෑ.අපි හැමෝම හරි සුහදත්වයෙන් ජීවත් වුණා.

“ඉතිං අනුරාධාට බබාලා හිටියෙ නැද්ද?”

smartlady ෆේස්බුක් පිටුවේ මගේ කතාවට අදාළව එහෙම කමෙන්ට් එකක් මේ ඊයේ පෙරේදා මම දැක්කා.ඒකට බොහොම සරල පිළිතුරක් මම කෙටියෙන් දෙන්නම්.අද කතාව පටන් ගන්නකොටම මම කිව්වා අපි අතර තිබ්බෙ මිත්‍ර බැඳීමක් වගේ එකක්.ඒ නිසාම දරුවෝ ඉන්න තිබුණු ඉඩ සියයට දශම ගාණකටත් වඩා අඩු එකක්.

සුදාරකට ආදරය කරමින් ලියුම් ලියමින් හිටපු මම ඒ අවුරුදු ගාණටම ඔහුව දැකලා තිබුණේ ඇඟිලි ගානට.ඔහුත් එක්ක විවාහ වුණත් ඒක අත්සනට පමණක් සීමා වුණු විවාහයක් වුණා.අපි අතර ලිංගික බැඳීමක් තිබ්බෙම නැහැ.මම අම්මා කෙනෙක් වෙයි කියන බය වගේම නැති උනොත් මට ජීවිතයක් තිබිය යුතු බව සුදාරක විශ්වාස කිරීම ඒකට හේතුව.සුදාරකගේ පැත්තෙන් ඒක ඉතාම සාධාරණ වෙන්න පුළුවන්

ඒත් මං අසංකත එක්ක විවාහ වුණේ ලංකාව හෙල්ලෙන වෙඩින් එකක් අරගෙන.මවුපියන්ගේ ආශිර්වාදය මැද්දේ තමයි මං ඔහුගේ බිරිඳ බවට පත්වුණේ.

ඒ උනාට ඒ ජීවිතය තුළත් ලිංගික සම්බන්ධතා කියන දේ මට ලැබුණේම නැති තරම්! මගේ අත්දැකීම් සහ දැනීම අනුව අසංකට ඒ සම්බන්ධයෙන් වැඩි ආසාවක් හෝ උවමනාවක් තිබුණෙත් නැහැ.

ඒකටත් හේතුවක් තිබුණා.ඔයාලාගේ ෆේස්බුක් ගෘප් එකේම සමහර නිර්නාමික ගැටලු තුළ මම ඒ කාරණාව දැකලා තියෙනවා.මුලදී විසඳා ගත යුතු ප්‍රශ්න පසුකාලීනව මොනතරම් ගැටළු ඇති කරනවද කියලා මේ කතාවත් ඔබට කියලා දේවි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles