නිවැරදිව ව්‍යායාමවල යෙදෙන්නේ කෙසේදයන්න පිළිබඳව ඔබ දැනුවත්ද?

අපි කවුරුත් නිරෝගී දිවියක්‌ ගත කිරීමට ප්‍රාර්ථනා කරන්නෙමු. එසේ නිරෝගී දිවියක්‌ ගත කිරීමට නම් අප දිනපතා පෝෂ්‍යදායී ආහාර පාන ලබාගන්නා සේම දිනපතා නිවැරදි අයුරින් ව්‍යායාමවල යෙදිය යුතුය. වර්තමානයේ බොහෝ දෙනා ව්‍යායාමවල යෙදීමට යොමු වී සිටිති. ඇවිදීම සහ නොයෙකුත් ව්‍යායාම අභ්‍යාසයන්හි යෙදීම කෙරෙහි ඔවුනගේ වැඩි අවධානය යොමු වී තිබේ.මෙලෙස යෙදෙන ව්‍යායාම මගින් අප බලාපොරොත්තු වන ශාරීරික සුවතාවය ලබාගත හැකිද?

 අප සෑම කෙනෙක්‌ම ව්‍යායාමවල යෙදීම මගින් බලාපොරොත්තු වන්නේ අපගේ ශරීරයේ මුළු ඉන්ද්‍රිය පද්ධතියම උත්තේජනයට ලක්‌ කරවීමය. මෙම උත්තේජනය නිසා සිරුර උණුසුම් වේ. රුධිර පීඩනය වේගවත් වේ. දහදිය දැමීම සිදු වේ. එමගින් ශරීරයේ ඇති 650 ක්‌ පමණ වූ මාංශපේශීන්වල ක්‍රියාකාරිත්වය ඉහළ නංවාගත හැකිය. 220 ක්‌ පමණ වූ අස්‌ථිවල ශක්‌තිමත් බව වැඩිකර ගත හැකිය. කිලෝ මීටර් දහස්‌ ගණනක්‌ දිග ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය උසස්‌ මට්‌ටමකින් පවත්වාගෙන යාහැකිය.

මෙමගින් අපගේ ශරීරයේ ඇති හෘදය වස්‌තුව, වකුගඩු, ආහාර මාර්ගය සම ඇතුළු සියලු ඉන්ද්‍රිය පද්ධතිය සැකසී ඇති දශ ලක්‌ෂ ගණනක්‌ වූ සෛලවලට ව්‍යායාමවල ප්‍රතිඵලය ලබා ගත හැකිය. මෙලෙස ව්‍යායාමවල නිසි ප්‍රතිඵල ශරීරයට ලබාගත හැකි වන්නේ අප නිවැරදිව ව්‍යායාමවල යෙදුණහොත් පමණි.

අප ව්‍යායාමවල යෙදීමට පෙර එම ව්‍යායාම ක්‍රම මගින් අපගේ ශරීරයට ලැබෙන ප්‍රතිඵලය සහ එදිනෙදා ජීවිතයට ඉන් ලැබෙන දායකත්වය පිළිබඳව අවබෝධයක්‌ ලබාතිබීම වැදගත්ය. උදාහරණයක්‌ ලෙස ශරීරයේ බර අඩු කර ගැනීමට ඇවිදිනවා නම් අප අඩුකර ගැනීමට බලාපොරොත්තු වන බර ප්‍රමාණය පිළිබඳව යම් වැටහීමක්‌ තිබිය යුතුය. එම අවබෝධය ලබාගත හැක්‌කේ නිසි වෛද්‍ය උපදෙස්‌ මගිනි. ඉන්පසු අප ඒ සඳහා දිනකට ඇවිදිය යුතු දුර ප්‍රමාණය ඇවිදිය යුතු වේගය පිළිබඳව උපදෙස්‌ ක්‍රීඩා වෛද්‍යවරයකු වෙතින් හෝ සුදුසුකම් ලත් ක්‍රීඩා උපදේශකයකු වෙතින් ලබාගත යුතුය.

– සංදනා –

Related Articles

Don't Miss


Latest Articles