(අ)හිමි සිහින -33

“පිළිකාව උඩු දුවමින් තියෙන්නේ කකුල කපන්නේ නැතුව අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් නෑ.”

වෛද්‍යවරුන් අපට එහෙම පැවසුවා.අසංකගේ අම්මා ජීවිතයේ අග භාගය හිටපු බව ඇත්ත.නමුත් අපට ඇගේ ජීවිතය ඉතාම වටිනවා.ඒ නිසාම කකුල ඉවත් කර හෝ අම්මාගේ ජීවිතය බේරා ගන්න අපි සූදානම් වුණා.ඒත් අම්මා ඒකට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අම්මා ඒකට තදින්ම අකමැති වුණා.

“අනේ බෑ බෑ මැරෙනව හොඳයි,මට කකුල කපන්න බෑ.”

ඇය ඒ තීරණය එකහෙළාම ප්‍රතික්ෂේප කරා.නමුත් අම්මාගේ ජීවිතය බේරා ගන්න අපට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.වෙනදා වගේම ඇගේ හිත හදලා ඇය ඒ තීරණය කරා මෙහෙයවන්න සිද්ධ වුණේ මට.අම්මා ඇගේ දූවරුන්ට කන් නොදුන්නට ලේලි වෙච්ච මට ඇහුම්කන් දෙයි කියලා මට තදින්ම විශ්වාසයක් තිබුණා.

මම පුවත්පත් වල පළ වුණු රණවිරුවෝ ගැන ලිපි අරගෙන අම්මා ළඟට ගියා.යුද්ධයේ බිහිසුණු බව නිසා අත් කකුල් නැති වුණු, ඇස් කන් නැති වුණු සහෝදර රණවිරුවෝ ගැන කතා කිහිපයක් හොයාගන්න මට පුළුවන්කම ලැබුණා.

“මේ ළමයි කොච්චර තරුණද අම්මේ.එයාලට තව අවුරුදු කීයක් මේ විදිහට ජීවත් වෙන්න තියෙනවද? මේ ගොඩක් කොල්ලො කසාදයක් වත් බැඳලා නෑ.ඒ උනාට එයාලට වෙන කරන්න දේකුත් නෑ.මෙහෙම හරි ජීවිතය බේරිච්ච එක ගැන සතුටු වෙනවා මිසක්.අම්මා ලස්සන ජීවිතයක් ගත කළා.දරුවෝ හැදුවා. මුනුබුරෝ දැක්කා.අම්මට ඉතුරු කාලය කකුල නෑ කියලා අඩුවක් දැනෙන එකක් නෑ.අපි ඔක්කොම අම්මා බලා ගන්නවානේ.”

නමුත් අම්මා ඒකට කිසිම කැමැත්තක් දැක්වුවේ නෑ.අපට අවශ්‍ය ඇගේ ජීවිතය බේරා ගන්න බව මම තදින්ම කියා සිටියා.අවසානයේදී ඇය සැත්කම කරන්න එකඟ වුණා.කලවය ළඟින්ම අම්මගෙ කකුල ඉවත් කළා.පිලිකා අවදානම පහව ගියා කියලා හිතුවත් එතනින් උඩටත් චුට්ටක් පිළිකාව පැතිරිලා කියලා අපි දැනගත්තේ ඉන් සෑහෙන දවසකට පස්සෙ.

අසංකගේ අක්කලා අයියලා මට වඩා වයසින් සෑහෙන්න වැඩිමල් උදවිය.මගේ අම්මගේ තාත්තගේ වයසට කිට්ටු සහෝදර සහෝදරියෝ පවා ඔහුට හිටියා.නෑකමට දුව පුතා කිව්වට මගේ නෑනා මස්සිනාලා තමන්ගෙ වයසට කිට්ටුයි කියලා වෙලාවකට මගේ අම්මයි තාත්තයි හිනාවෙන තැනුත් තිබුණා.ඒ නිසාම ඔවුන්ට වඩා දුවලා පැනලා දේවල් කරන්න හැකියාව තිබුණේ මට.ඔවුන් සේරම මගේ කර මත තියෙන්නත් වගබලාගත්තා.තැලෙන යකඩයක් වගේ ජීවිතයේ පන්නරය ලබමින් හිටපු මට කකුලක් අහිමි අම්මා කෙනෙක් බලා ගැනීමත් තවත් එක අභියෝගයක් විතරක් වුණා.

සැත්කමින් පස්සේ වාට්ටුවට ආපු අම්මා බාර ගත්තෙ මම.ඇය සිහි ආපු ගමන්ම මළපහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති බව මට කිව්වා.ඇයට ඒකට උදව් දෙන්න ගියේ මම කැළඹීමට පත්වුණා.අපද්‍රව්‍ය අල්ලන්න සිද්ධ වෙන නිසා නම් නෙමේ.උදව් දෙන්න බලනකොට මට අම්මගේ මුත්‍ර මාර්ගය සහ ගුද මාර්ගය වෙන්කර ගන්න බැරි තරම්.කකුල ඒ තරමට ගැඹුරටම කපල දාල.බොහොම අමාරුවෙන් මලපහ තවරා නොගෙන අම්මට ඒ කාර්යයට උදව් කරන්නේ කොහොමද කියල මම කල්පනා කරනකොට ඇය අසීරුවෙන් නැගිටිමින් මට උදව් කළා.කකුලක් සම්පූර්ණයෙන්ම කපපු වේදනාවත් එක්ක හිටපු වයෝවෘද්ධ ගැහැනියක් ඒ තරම් ශක්තිවන්ත ව සිටීම මගේ ජීවිතේ මට කිසිම දවසක අමතක නොවන සිදුවීමක්.

ජීවිතය එහෙමයි.බලා යමින් තිබුණේ අන්ත දුක් පීඩා සහ බාධක මැදින්.හැමදාම ඉන්න ආවෙ නැති ජීවිතේ හැමදාම දුක් විඳින්න ඕනෑ ද කියලා මට හිතෙන්න ගත්තෙ ගත්තෙ අන්න ඒ කාලෙදි.කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොකියා හිටියට හැමදෙයක්ම තදින් හිතේ දරා ගත්තට මට මාව ඔසවා තබා ගන්න උවමනා වුණා.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලා හිතන්න පටන් ගත්තා.

“දැන් මට අවුරුදු තිහක්.විවාහ ජීවිතයට අවුරුදු හතක්!අනුරාධා,ටර්නින් පොයින්ට් එකකට කාලය හරි.”මගේ හිත කෑ ගසා කියමින් හිටියේ අන්න ඒ දවස් වල.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles