ඔහුට කේන්ති ගියොත් ඔබ මොකද කරන්නෙ?

1.    ඔහු සහ කෝපය එකට එකතුකරගන්න එපා

බය වෙන්න එපා. කලබල වෙන්නත් එපා. මේ ඉන්නෙ කලින් හිටිය කෙනාට වඩා කොයිතරම් දරුණු කෙනෙක් ද? කොයිතරම් නරක කෙනෙක් ද? කොයිතරම් අකාරුණික කෙනෙක් ද? මෙහෙම දේවල් ඔබට එකපාරටම හිතෙන්න පුළුවනි. ඒත් ඒ හැම හිතිවිල්ලකටම මුල් වෙලා තියෙන්නෙ ඔහු වසාගෙන සිටින කේන්තිය, තරහව, කෝපය විතරයි. ඔහු සහ කෝපය එකට එකතුකරගෙන තීරණ ගන්න එපා.

2.    හැකිතාක් සානුකම්පිත වන්න

ඔහු ඉන්නේ මේ මොහොතේ ඔබ ඇතුළු සියලු දෙනා ගැන යම් අනවබෝධයකින් විය හැකියි. දරුවන්ගේ යම් කිසි ක්‍රියාවක්, නෑ හිතමිතුරන් හෝ අසල්වැසියන් නිසා ඇති වූ ‍ගැටළුවක්, එසේත් නැත්නම් ඔබෙන් සිදු වූ යම් කිසි අතපසුවීමක්, මඟහැරීයාමක්, නොතකාහැරීමක්, එසේත් නැත්නම් දුරදිග නොබලා ඔබ ගත් තීරණයක් නිසා සිදු වූ පාඩුවක්, ‍ඔහුට ඔහුගේ නොසැලකිල්ලෙන් ම සිදු වූ වරදක් ආදි වශයෙන් කවර කරුණක් නිසා හෝ ඔහුට මේ ආකාරයට කේන්තියක්, තරහක්, කෝපයක් ඇතිවී තිබෙනවා විය හැකියි. කාරණය කවරක් වුවත්, ඊට කිසිසේත් ම ඔබ වැරදිකරුවකු නොවුණත්, මේ අවස්ථාවේ ඔහු කෙරෙහි සානුකම්පිත වන්න.

3.    ඔබේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සිදුකරන්න.

ඔහු ගනන් නො‍ගෙන සිටීම හෝ ඔහු කරන කියන දේ හරි වැරදි තෝරා බේරා දෙන්නට උත්සාහ දැරීම පසෙකින් තබන්න. ඔබේ කටයුතු විනිවිදභාවයෙන් සිදුකරන්න. ඔබ ඔහුට විරුද්ධ පාර්ශවයේ සිටින කෙනෙක් නොවන බව ඔහුට දැනෙන්නට දෙන්න. ඔහු දරන මතයට සමහරවිට ඔබ එකඟ නොවුණත් ඔබේ විරුද්ධ වීම මේ මොහොතට ගැ‍ළපෙන්නේ නැහැ. ඔබ ඔහු සමඟ සිටින බව දැනෙන විට ඔහු එයින් ලැබෙන ශක්තියෙන් කේන්තිය ටිකෙන් ටික ඈත් කරගනීවි.

 4.    විවේචන නතරකරන්න. ඔහුව මැනබලන්න මේ මොහොත සුදුසු නැහැ.

තරහ කියන්නේ පුද්ගල මනසේ යම් අවස්ථාවලදි ඇතිවිය හැකි තත්වයක්. විටින් විට නිරන්තරයෙන් මේ තත්වය ඇතිවුණොත් එය පුරුද්දකට යන්න ඉඩ තියෙනවා.එය නතර කළ හැකියි. එහෙත් මේ ඒ සඳහා සුදුසු මොහොත නොවෙයි. දැන් ඔහු පාවිච්චි කරන වචන, ඔහුගේ හැසිරීම්, ඔහුගේ ක්‍රියාකලාපයන් මේ මොහොතට‍ පමණක් සුවිශේෂ වූ ඒවායි. ඔහු මැනබලන්න, ඔහු විවේචනය කරන්න, ඔහුගේ වැරදි මතුකර පෙන්වන්න මේ මොහොත කොහොමටවත් ගැළපෙන්නෙ නැහැ.

5.    පාලනය නවත්වන්න

ඔහුගේ තරහ පාලනය කරන්න හදන්න එපා.ඔහු පාලනය කරන්න හදන්නත් එපා. ඔබට මේ මොහොතේ පාලනය කළ හැකි එකම දේ ඔහු හමුවේ ඔබේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන් පාලනය කරගැනීම පමණයි

ඔහුගේ හිතිවිලිවලට ගිනි ඇවිලී ඇති මේ මොහොතේ ඔබ පිදුරු ලබා දෙන්න එපා. පැරණි වැරදි, අතපසු කිරීම්, මඟහැරදැමීම්, නොතකා හැරීම් කොතෙකුත් ඔහුගෙන් සිදුව ඇති. ඔහු නිකරුණේ ඔබට දොස් පවරන මේ මොහොතේ ඔබට ඔහුගෙන් වූ සියලු වැරදි සිහිපත් විය හැකියි. ඒත් ඒ කිසිවක් වචනවලට නඟන්නට හෝ හැසිරීමෙන් පෙන්වන්නට මේ වෙලාව ගැළපෙන්නෙ නැහැ.

6.    හැකිතාක් ඉවසන්න

මතක තියාගන්න ඉක්මණින් තරහ ඇවිස්සෙන, කෝපයට පත්වන අය තමන්ගෙ හිත ඇතුළෙන් හුඟක් පීඩා විඳින අයයි. ඔවුන් තරහ යන හැම මොහොතක ම අධිකව හිත රිදවා ගන්නවා. තරහ, කෝපය, කේන්තිය කෙනෙක් බලසම්පන්න කරන්නෙ නැහැ. ඒවා කෙනෙක් අතිශයින් ම දුර්වල කරනවා. මෙවැනි අවස්ථාවල දි හැකිතාක් මානුෂීය වීම තමයි හොඳම විසඳුම.ඔහු මේ තත්වය පසුව අවබෝධ කරගනීවි. නැතහොත් ඔබට එය පසුව අවබෝධ කරදීමට හැකි වේවි. එතෙක් ඉවසන්න.

7.    සන්සුන්වනතුරු නිහඬ වන්න

ඔහුගේ කේන්තිය සමනය වී සන්සුන්වන තුරු ඔබ නිහඩ වෙන්න. ඒ සඳහා හැකිනම් අවශ්‍ය නම් ඔහුගෙන් සමාව ඉල්ලන්න.ඔහු කැමති කෑම බීම පිළියෙළ කරන්න.

8.    සාර්ථක ප්‍රයෝග ප්‍රවේසමෙන් අත්හදාබලන්න

තරහ ඉක්මණින් අමතක වන කටයුත්තකට හෝ හිතිවිල්ලකට ඔහු යොමු කරගත හැකි යම් යම් ප්‍රයෝග පාවිච්චි කරන්න. මේවා එක් එක් පිරිමින්ට වෙනස්විය හැකියි. සමහර ‍අය මෙවැනි අවස්ථාවක ඔබ රූපවාහිනිය නරඹන්නට යොමු කරගන්නට සූදානම් වුවොත් එයින් වඩාත් කෝප වන්නටත් පුළුවනි. සමහරවිට රූපවාහිනිය ටික වේලාවකින් සාලය මැද පොලොවේ ගසා දමන තරමටම ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ වේවි. ඒ නිසා ඔහු හොඳාකාරවම අවබෝධ කරගෙන යම් ආකාරයකින් හෝ ඔහුගේ හිත පාලනය වන දේ පමණක් ඉතා ප්‍රවේසමෙන් අත්හදා බලන්න.

නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles