එයාගෙ අංක එක ෆෝන් එක ද?

“මගේ හස්බන්ඩ් කොයි වෙලාවෙත් ෆෝන් එකේ. ගෙදර කිසිම දෙයක් කතාබහ කරන්නවත් එයාට වෙලාවක් නැහැ. දරුවන් ගැන හොයන්න, එයාල එක්ක කතාකරන්න එයාට වැඩි වෙලාවක් නැහැ… ”

“අපි ආදරය කරපු කාලෙදි නම් එයා ෆෝන් එකෙන් කතා කළේ මාත් එක්ක. එතකොට එයාට කතාකරන්න ඕන තරම් වෙලාව තිබුණා. ඒත් අපි කසාද බැන්දට පස්සෙ එයා මං එක්ක කතාකරන එක ටික ටික අඩු කරලා දැම්මා. දැන් මම කතා කළත් ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ කලාතුරකින්. අනේ මන්ද මේව කොහොම විසඳගන්න ද කියලා…”

තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දුරකථන භාවිතය ගැන හුඟක් කාන්තාවන්ට තියෙන්නෙ ඔන්න ඔය වගේ දුක්මුසු චෝදනා සමූහයක්. හුඟක් දෙනෙකුගෙ පවුල් ජීවිත අසාර්ථක වෙන්න, අවුල් වෙන්න, මත ගැටුම් ඇතිවෙන්න හේතුව වෙලා තියෙන්නෙත් මේ අසීමාන්තික දුරකථන ඇබ්බැහිවීම්. කොහොම වුණත් අද කාලෙ බොහොමයක් ජංගම දුරකථන සන්නිවේදන කටයුත්තට විතරක් පාවිච්චි කරන උපකරණයක් නොවීමත් මේකට හේතුවක්.  ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අය සමාජ ජාලා වල සැරිසරන්නේ, පත්තර බලන්නේ, සිංදු අහන්නෙ, කොටින් ම ගනුදෙනු කරන්නේ ෆෝන් එකෙන්. මේ නිසා දවසේ වැඩි ම කාලයක් තමන්ගෙ දුරකථනය සමඟ ජීවත්වෙන එක ඔවුන්ට නතර කරගන්න අසීරු පුරුද්දක් වෙලා. මේක පුරුද්දකටත් එහා ගිය ඇබ්බැහිවිමක් වුණාම නොයෙක් ගැටළු, මතභේද, ආරවුල් ඇතිවිය හැකියි.

බිරිඳක් විදියට ඔබ ඔබේ ස්වාමිපුරුෂයා මේ වගේ ඇබ්බැහිවීමක හිටියොත් ඒ තත්වය පවුලට හානිකර නොවෙන විදියට පාලනය කරගන්න හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි.

මෙහි දී  ඔබ විසින් නොකළ යුතු දේ

  • ඔහු‍ට ඇමතුමක් එන සෑම මොහොතක ම අධිකව කේන්ති ගැනීම
  • එවැනි අවස්ථාවල ඔබේ සියලු කටයුතු පසෙක ලා ඔහුට බැන වැදීම, දොස් කීම හෝ ඇවිටිලි කිරීම
  • ඔබ ‍නරඹමින් සිටින රූපවාහිනියේ හඬ වැඩි කිරීම, ගුවන්විදුලියේ හඬ වැඩිකිරීම හෝ ඔහුගේ දුරකථන ඇමතුමට බාධාවන අයුරින් හැසිරීම
  • ඔබට ඇතිවන කේන්තිය, ආවේගශීලී හැඟීම පිට කරදැමීමට ඔබේ දරුවන්ට නිකරුණේ බැනවැදීම, තරවටු කිරීම
  • ඔහු දැඩිව ප්‍රතික්ෂේප කිරීම. ඔහුව අනවශ්‍ය ලෙස සැකකිරීම
  • ඔහු සමඟ එකට එක කරන්නට සිතා ඔබත් දුරකථනයට ඇබ්බැහිවන්නියක් බවට පත්වීම
  • ඔහු ඇමතුමෙහි සිටිය දීම අනෙක් පාර්ශවයට ඇසෙන්නට ඔබේ විරෝධය පළ කිරීම
  • ඔහු ඇමතුම් ලබාගන්නා දුරකථන අංක පරීක්ෂා කොට අදාළ පුද්ගලයින්ට ඇමතුම් ගෙන බැන වැදීම
  • ඔහුගේ දුරකථනය නිරන්තරයෙන් පරීක්ෂා කර බලමින් ඒවා පාලනයට අනවශ්‍ය ලෙස මැදිහත්වීම

 ඔබ විසින් කළ යුතු දේ

  • ඔහුගේ දුරකථන ඇමතුම අවසන් වූ පසු ඔහු සමඟ සුහද ව  කතාබහ කරන්න. දුරකථන ඇමතුම් ගැනීම හෝ ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම් ගැන කිසිවක් කතා නොකර එදිනෙදා තොරතුරු කතාබහ කරන්න.
  • ඔහු ඔබේ පූර්ණ සවන් දෙන්නෙකු බවට පත්කරගත හැකි අන්දමේ කතා බස්වල නිරත වෙන්න. ඔහු කැමති දේවල්වලින් කතාවට ඔහු හවුල් කරගන්න.
  • ඔහුගේ දුරකථන ඇමතුම් කාලය සීමා කරගත හැකි අයුරු, විශේෂයෙන් ම දුරකථනයෙන් සමාජ ජාලා වෙත යාම, ප්‍රවෘත්ති බැලීම, ආදියට වෙන්කරගන්නා කාලය ගැන දෙදෙනා එක්ව සුහදව කතා කරන්න. ඇතැම්විට ඔහු කරන රැකියාවේ ස්වභාවය, රැකියා පරිසරය තුළ ඔහු දරන අධික අවිවේකී බව වැනි හේතුවක් නිසා වැඩි වශයෙන් දුරකථනයේ රැඳී ඉන්නවා විය හැකියි. ඔහුගේ එවැනි තත්වයන් හොඳින් අවබෝධ කරගන්න. ඔහුට එම තත්වයන් ටිකෙන් ටික පාලනය කරගන්නට සහාය වන්න.
  • ඔහු වැඩි වේලාවක් දුරකථනයේ රැඳී සිටීම නිසා ඔබට සිදුවන අවහිරතා, ඔහු‍ගෙන් මඟහැරී යන සහයෝගය, බෙදාහදාගැනීම, දරුවන් සහ ඔබ සමඟ ගතකරන්නට ඇති කාලය අවම වී යාම වැනි තත්වයන් ගැන ටිකෙන් ටික ඉතා ආදරයෙන් ඔහුට අවබෝධ කරවන්න.

මේ කිසිවකටවත් ඔහු එකඟ කරවා ගන්නට ඔබ අසමත් නම්,  ඔහු දුරකථනයේ රැඳී සිටීම පාලනය කරගන්නට කිසිසේත් උත්සාහ කරන්නේ නැත්නම් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාව කිසියම් ආකාරයක ගැටළුවකට ලක්ව ඇති බව තමයි එයින් තහවුරු වෙන්නේ. උපදේශන සේවාවක සහයෝගය හෝ විශ්වාසවන්ත සමීපතම හිතවතෙකුගේ සහයෝගය ලබාගෙන ඔබ දෙදෙනා මුහුණ දී ඇති තත්වය හැකි ඉක්මණින් යහපත් කරගන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles