(අ)හිමි සිහින -46

මම ඒ දේවල් ගැන හිතන්න වද වෙන්න නොහිතුවේ සමහරවිට මගේ දෙමාපියන් හින්දාත් වෙන්න ඇති.මට එයාලගෙන් කොළඹ නගරයට තදාසන්නව විශාල ඉඩමක් සහ ගෙවල් කිහිපයක් ලැබී තියනවා.ඒවාගේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.ඒ නිසාම වෙන්න ඇති මට මගේ කියන කිසිම දෙයක් ආපහු උදුරාගෙන එන්න නොහිතුණේ.

මමත් සාමාන්‍ය ගෑනියක් නිසා මගේ දේ ගැන ලෝබ හිතුණේ නැද්ද කියලා ඔබ හිතනවද හිතනවා නම් මට දෙන්න එහෙම උත්තරයකුත් තියෙනවා.දෙමාපියන් සියලුම දේවල් ලබාදීලා හදපු නිසා වෙන්න ඇති ධනයට සහ සහ වස්තුවට ලොබ බැඳීම මගේ ජීවිතේ ඇත්තේ ම නැති තරම්.

“ඔයාලා දෙන්නා තෑගි එහෙම හුවමාරු කරගෙන නැද්ද ඉතින්?”

අසංකගේ පරිච්ඡේදය වහන්න ලෑස්ති වෙන ගමන් මගෙන් ස්මාර්ට්ලේඩි කණ්ඩායම අහනවා.ඇත්තටම ඒකට මට ලැබුණු දේවල් ගැන කියන්න දෙයක් නැතත් මං අසංකට ලබා දුන් දේවල් මට මතක් වෙනවා.

මගේ රැකියාවක් අවසන් කරලා ලැබුණු දිරි දීමනාව මම ඔහුට සම්පූර්ණයෙන් ම ලබා දුන්නා.ඔහු එයින් ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය දෙයක් ගත්තා මට මතකයි.බ්‍රේස්ලට් එකක් ඔහුට තෑගි කළ සුන්දර මතකයක් සහ ඔහු බොහොම ආසාවෙන් හිටිය Cat’s eye මැණික් ගලක් යෙදු මුද්දක් තෑගි දුන්නු මතකයක් මට තියනව.

“මූට මම තෑගිත් දුන්නනෙ..” කියලා කිසුම මං හිතන්නේ නැහැ.අපි බැඳීමක් සහිතව සිටි කෙනෙකු සතුටින් තැබීම කවදාවත්ම පසුතැවීමක් ඇති කර ගත යුතු කාරණාවක් නෙවෙයි.ආදරය කළ කාලය හෝ එක්ව ජීවත් වූ කාලය තුළ කරන ලද කිසිම දෙයක් අපතේ ගියා කියලා හිතන්න එපා.ඇත්තටම අත්දැකීම් නේද අපිට ජීවත් වෙන්න පන්නරය ලබා දෙන්නෙ.

කිසි දවසක කිසිම කෙනෙකුට මගේ පවුල තුළ ඇති අභාග්‍ය සම්පන්න කතාව මම කියලා නැහැ.නමුත් මම මගේ සතුට වෙනුවෙන් පියවරක් ඉදිරියට තැබූ කෙනෙක්.ඒ නිසා ඔබ වෙනුවෙන් මෙය ලියා තියන්න මට හිතුණා.අතිශය දුක්ඛදායක විවාහවල සිටිමින් ඒ සැමියා ම අවශ්‍ය බව,ඔහු ඔබ නැතිනම් සියදිවි හානි කරගන්නට ඉඩ ඇති බව සමහර සහෝදරියන් නිර්නාමිකව ස්මාර්ට්ලේඩි සමූහයට ලියා එවන හැටි මට පේනවා.

අභියෝගයක් වෙත යන්නට බිය වෙන්න එපා.බය වෙන්න ඕනෑ වේදනාවේ ගිලෙමින් තමන්ගෙ ජීවිතයට ඇති වටිනාකම පවා අමතක කර දමන්නයි.

දික්කසාදය ලබාගෙන කිසිම දෙයක් නැතිව මම ආපහු ආවා.සුධාරකගෙන් බලහත්කාරයෙන් දික්කසාද කළ මොහොතේ මට මහා තිගැස්මක් සහ වේදනාවක් තිබුණා.ප්‍රේමය හොරු අරන් ගියා වගේ හැඟීමක් මාව පීඩාවට ලක් කළා.වෙනත් මිනිසෙකුට ඉක්මනින් විවාහ කර දෙන්නට නියමිත බැවින් කරන්නේ කුමක්දැයි සිතමින් මම ළතැවුණා.

මේ වතාවේ මට එවැනි හැඟීම් නෑ.මම අවුරුදු තිහක පරිණත ගැහැනියක්.නමුත් මට මහා විශාල හිස්කමක් සහ පාළුවක් දැනෙන්නට පටන් ගත්තා.

“මම සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලක්.හැමෝටම ආදරෙන් ඉන්න කැමති කෙනෙක්.මටත් මෙහෙම වුණා කියන්නේ ඉතින් මේ ලෝකේ යුක්තියක් කියලා දෙයක් තියනවද?”

ප්‍රාණසරි ප්‍රථම ප්‍රේමය සමු ගැන්මකටවත් ඉඩ නොදී මගෙන් බලහත්කාරයෙන් ඈත් කළා.අම්මලාගේ උවමනාවට කරගත් විවාහය ජීවිතයේ සුන්දරම දවස් මගෙන් උදුරා ගත්තා.

ඉතින් මට මහා හිස් හැඟීමක් එන එක ඇත්තටම සාමාන්‍ය දෙයක්!

වේදනාව තුරන් කරන්නට අරමුණ හඹා යාම මිස කිසිම දෙයක් නැති බව මට සිතෙන්නට ගත්තා.හොඳම චෙෆ් කෙනෙකු වන සිහිනය හඹා යමින් මම මගේ පාඨමාලාව වෙනුවෙන් තදින් කැප වෙන්නට ගත්තේ ඒ නිසාමයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles