සෑම මවක්ම පුතෙක්ට දිය යුතු අවවාදයක්.

විවාහ වෙන්න කලින් දවසෙ අම්මලා දුවලට අවවාද දෙන අවස්ථා තමයි අපට දකින්න ලැබෙන්නේ… අලුතින් පටන් ගන්න හදන විවාහ ජීවිතය තුළ තමන්ගෙ සැමියට ආදරය කරන්න ඕන විදිය අම්මලා දුවලට කියා දෙනවා. ඒත් විවාහයට කලින් දවසෙ පුතෙකුට අම්මා කෙනෙක් අවවාද දෙන එක ලංකාවෙ අපට තවම ඒ තරම් අහන්න ලැබෙන්නෙ නැහැ.  ලංකාවෙ හුඟක් නැන්දම්මලාට තමන්ගෙ අලුත් ලේලිලා ගැන පුංචි ඉරිසියාවක් තමයි තියෙන්නෙ. හුඟක් ලේලිලාත් නැන්දම්මා ගැන හිතාගෙන ඉන්නෙ ඇය හැම දේකම දොස් දකින තමමන්ට එරෙහිව සිටින ගැහැනියක්  කියලයි.

ඒ නිසාමයි අපි මේ කතාව ඔබට සමීප කරන්නේ.. මේ නිර්මාණය ඔබේ දැක්ම වෙනස් කරාවි.. ඔබේ පුතුත් මෙවන් ආකල්ප වලින් පෝෂණය කිරීමට සමත් විවෘත මනසක් සහිත බුද්ධිමත් මවක් වීමට ඹබට මේ ලිපිය වැදගත් වේවී…..

ආදරණීය පුතේ,

ඔයා හැමදාමත් අම්මගෙ පුංචි පුතා බව ඇත්ත. ඒත් දැන් ඔයා වගකීම් සහගත පිරිමියෙක්.  හෙට ඉඳලා ඔයාගෙ ජීවිතේට අලුත් අම්ම කෙනෙක් එකතු වෙනවා. ඔයාට රසට කෑම  උයල දෙන්න අලුත් කුක් කෙනෙක්,  ඔයාගෙ ඔක්කොම රහස් ටික බෙදා හදාගන්න අලුත් මිතුරියක් හෙට ඉඳලා ඔයත් එක්ක ඉන්නවා.හෙට ඉඳලා ඒ දේවල්වලට ඔයාට, මාව තවදුරටත් ඕන වෙන එකක් නැහැ.

පුතේ, ඔයාගෙ අලුත් අම්මට ආදරය කරන්න. ඇත්තට ම  ඔයා මට ආදරය කරනවටත් වඩා ඇයට ආදරය කරන්න.

ඈ ඔයාගෙ ජීවිතේ කොටසක් කරගන්න කලින් ඔයාට වචනයක් කියන්න ඕනෙමයි. හෙටින් පස්සෙ එන ජීවිතේ දි ගොඩක් අභියෝග ප්‍රශ්න ඔයාට එන්න පුළුවන්. ඒ හැම මොහොතකදිම ඔයා මතක් කරගන්න ඕනෙ කතාවක් මං කියන්නම්.

මට මතකයි, මම ඔයාගෙ තාත්තත් එක්ක රණ්ඩු කරගත්ත දවස් තිබුණා. අපි ගොඩක් ආවේග ශීලීවුණා. එකිනෙකාට බැනගත්තා. මම ඔයාගෙ තාත්තට ගොඩක් නරක වචන කියලත් බැන්නා මම දැනගෙන හිටියා ඔහුට ඒ වචන දරාගන්න පවා බැරි බව. ඒත් මම මගේ කට පාලනය කරගත්තෙ නැහැ. මම තවතවත් බැන්නා. ඔයාගෙ තාත්තට ඒ මොහොත දරාගන්න කොයිතරම් අසීරු වුණත් ඔහු හැම වෙලාවෙම මට වඩා සන්සුන් වුණා. එයා කවදාවත් මට බැන්නෙවත්, ගහන්න අතක් ඉස්සුවෙවත් නැහැ. ඔහු හැමදාම කළේ මගේ කේන්තිය නිවෙනකල් මගෙන් ඈත් වෙලා හිටිය එක විතරයි. 

පුතේ. ඔයාගෙ තාත්තා එදා මං වගේම කේන්ති අරන් කෑගැහුවනම් අද වෙනකොට අපි වෙන්වෙලා ගොඩක් කල්. එහෙම වුණානම් අද වෙනකොට ඔයා ජීවිතේ කොයිතරම් තනිවෙලා ඉඳීවි ද? අසරණ වේවි ද?  ඔයාගෙ තාත්ත විදියට ඹයා, එයාව කොහොම පිළිගන්න ද? , ඒ නිසා කවදාවත් ඔයාගෙ බිරිඳට ගහන්න එපා. ගැටුම්කාරී වෙලාවට එයාට වඩා ඉවසීමෙන් ඔයා වැඩකරන්න.  ටික වෙලාවකින් ඒ තත්වය යහපත් වේවි. ඔයාට එයා ගැන කේන්ති ගියොත්,  ඒ වෙලාවට මම කියපු මේ කතාව මතක් කරගන්න.

එදා ඒ සිදුවීමෙන් පස්සෙ මට ඔයාගෙ තාත්ත ගැන තිබුණු ගෞරවය තව තවත් වැඩිවුණා. මම එයාට වෙනදටත් වඩා හුඟක් ආදරය කරන්න පටන් ගත්තා.

විවාහ ජීවිතේ දි රණ්ඩු කරගන්නවට වඩා ඉවසීමෙන්, ආදරයෙන් දිනාගන්න දේවල් වැඩි බව මතක තියාගන්න.

පුතේ ඔයා මේ ටිකත් හොඳින් ම අහගන්න. ඔයා ඔයාගෙ බිරිඳව කිසි මොහොතක තනිකරන්න එපා. ඇයට මේ ලෝකෙ ඉන්න වැදගත් ම කෙනා ඔයා බව මතක තියාගන්න. ඇය මොකක්හරි පීඩාවකින් ඉන්න වෙලාවට ඈ එක්ක ඒ පීඩාව බෙදාගන්න. මේ ලෝකෙ කවුරු ඇය ප්‍රතික්ෂේප කළත් ඇය තනි නොකර ඔයා ඔයාගෙ බිරිඳත් එක්කම ඉන්න.

පුතේ සමහර වෙලාවට ඔයාගෙ බිරිඳ පුංචි බබෙක් වගෙයි. ඒ වෙලාවට ඈ දන්නෙ නැහැ මොනව ද කියන්න ඕන කියලා, මොනව ද කරන්න ඕන කියලා. ඒ හැම මොහොතක ම ඇය වෙනුවෙන් පෙනීසිටින්න. ඇය වෙනුවෙන් කතාකරන්න.

විවාහ ජීවිතයේ වැදගත් ම කාරණයක් තමයි ලිංගිකත්වය.  ඒ ගැනත් පුංචි අවවාදයක් මට ඔයාට දෙන්න තියෙනවා. සමහරවිට  ඔයා හිතනවට වඩා ඇයට ලිංගික ආශාවල් ඇතිවෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඇය ඒවායින් සතුටු වුණොත් ඔයා පුදුම වෙන්න එපා. ඒත් ඒක හේතුවක් කරගෙන ඇගේ චරිතය ගැන සැක කරන්න එපා. මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්. ඔයාගෙ වගකීම තමයි හැම මොහොතක ම ඔයාගෙ බිරිඳගේ සතුට ගැනත් හිතන එක. කිසිම මොහොතක ඔයා ගැන විතරක් හිතන්න එපා.  ලිංගික ජීවිතේ සතුට  ඔයාල දෙන්නගෙම අයිතියක්.

පුතේ, ඔයා මතක තියාගන්න. මින් පස්සෙ ඔයාගෙ ජීවිතේ දුක සතුට බෙදාගන්න තව කෙනෙක් ඔයත් එක්ක ඉන්න බව. ඔයා යන එන තැන්, සතුටු වෙන තැන්වල දි ඇය තනි කරන්න එපා. හැකි හැම මොහොතක ම ඇයත් ඒවාට හවුල් කරගන්න. ඔයාගෙ රැකියාවෙ ගැටළු, ඉදිරි සැලසුම් ඒ හැම දෙයක් ම එකතු වී කතාකරන්න. බෙදාහදාගන්න.

මං දන්නවා ඔයා ඔයාගෙ අම්මට ගොඩක් ආදරෙයි. මෙච්චර දවසක් ඔයාගෙ දුක සැප බෙදාගත්තෙ මං එක්ක. ඒත් හෙට ඉඳල දේවල් වෙනස් වේවි. මිට පස්සෙ ඔයාගෙ ජීවිතේ දුක සැප කියන්න මේ අම්ම හොයා ගෙන එන්න කලින් ඔයාගෙ අලුත් අම්ම ළඟට යන්න. ඔයාගෙ ජීවි‍තේ අංක එක එයා බව ඇයට දැනෙන්න දෙන්න. ඔයාට ඇයත් එක්ක ප්‍රශ්නයක් ඇතිවුණ ගමන් මාව හොයාගෙන එන්න හදිස්සි වෙන්න එපා. දවසක් දෙකක් කල් අරගෙන ඇයත් එක්ක කතාකරලා ඒ ප්‍රශ්නෙ විසඳගන්න.

වැදගත් ම දේ තමයි පුතේ, හෙටින් පස්සෙ මාවත් අමතක කරන්න එපා. ඔයාගෙ බිරිඳත් එක්ක පුළුවන් හැම වෙලාවෙදිම ඇවිත් මාව බලල යන්න.

( අන්තර්ජාලයේ පල වූ නිර්මාණයක් ඇසුරු කර ගනිමින්  Smartlady පාඨකයන් වෙනුවෙන් වඞාත් ගැලපෙන අයුරින් සකස් කර පල කරන ලදී…)

නිරංජලා

Related Articles

Don't Miss


Latest Articles