(අ)හිමි සිහින -66

මිනිස්සුන්ගේ වැරදිම මතක තියාගනිමින් කිසිම ගෞරවයකින් තොරව ඔවුන්ට සැලකීම මහා නරක දෙයක් කියලා මම විශ්වාස කරනවා.කාලයක් එක ගෙයක්,එක ඇඳක් බෙදා ගත් මිනිසෙක්ට රිදවන්න මගේ අලුත් විවාහය ගැන කියලා තියන තරමක් බඩු මුට්ටු අකුලන් එන්න ඇත්තටම මට උවමනා වුණේ නැහැ.කෙනෙකුගේ වැරදිම දකිමින් වැරදිම කියමින් හිටියාට ලැබෙන දෙයක් නැති බව මම අවබෝධ කරගෙන හිටියා.කවදාවත් කිසිවෙක්ම ආශ්‍රය කරන්න සහ මිත්‍රකමක්වත් පවත්වාගන්න බොහෝ දෙනෙකුට බැරි හේතුව තමයි හැමතිස්සෙම වැරදිම දැකීම.කිසිම කෙනෙක් සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු කියලා මම හිතන්නේ නැහැ.හැමෝගෙම වැරදි තියනවා.හොඳ නරක සමසමව තියනවා.

“මට කිසිම දෙයක් නොදුන් තමුන්‍ට මම දේවල් ඉතිරි කරන්නේ මොකටද? මං මේ සේරම අරන් යනවා..”

මට එහෙම කියන්න හිතුණේ නෑ.මම අසංක සමඟ පරිච්ඡේදය සහමුලින්ම ඉවර කරේ පුංචි හිත් රිදවා ගැනීමකින්වත් තොරව.අපි තවමත් උවමනා කාරණාවලට ඉඳහිට එකිනෙකාට අමතන දන්න කියන මිනිස්සු.හතුරෝ වෙලා සංසාරයට තවත් ගණුදෙනුවක් එකතු කරගත් මිනිස්සු නොවෙයි.

දෙදහස් දොළහ ජූලි මාසේ දවසක මම චමල් සමඟ විවාහ වුණා.දෙපාර්ශවයේ ඥාතීන් පමණක් එකතු වුණු කුඩා උත්සවයකින් අපි අපේ විවාහය සිදු කළා.චමල්ගේ ගෙදර අයව මම දැක්කෙත් එදාම කියලා කිව්වොත් ඔබ පුදුම වෙයිද? නෑ,ඒක තමයි ඇත්ත.අවුරුදු ගාණක් අපි ආශ්‍රය කරත් අපේ ගෙදර අය එහෙ ගියේ හෝ ඒ ගෙදර අය අපේ ගෙදර ආවේ නැහැ.මගේ කකුලේ අනතුර වෙලාවේ ඔහුගේ ඥාති සහෝදරියන් දෙන්නෙක් මාව බලන්න ආවා.එච්චරයි.අනිත් අය හැමෝවම මම දැක්කේ එදා.අපි දුරකථන ඇමතුම් අරගෙන තිබුණත් එකිනෙකාව දැක්කේ එදා.

මගේ තුන්වෙනි විවාහය ඒ විදියට සිද්ධ වුණා.විවාහ ලියාපදිංචි කිරීමෙන් පස්සේ අපේ ගෙදර දිවා භෝජනයක් පැවැත්වුණා.එච්චර තමයි.කිසිම උත්සවයකින් තොරව මගේ තුන්වැනි විවාහය අවසන් වුණා.චමල්ගේ ගම වයඹ පළාතේ ගමක්.ලියාපදිංචියෙන් දින දෙකකට පස්සේ අපි එහෙ ගියා.ඩොල්කි ගහල මහා විශාල පාටියක් රාත්‍රිය පුරා පවත්වන්න ඔහුගේ මිතුරන් ක්‍රියා කලා.මට ටිකක් වෙනස් අත්දැකීමක් වුණත් මම ඒ අත්දැකීම විඳ දරා ගත්තා.කිසිම මංගල උත්සව අත්දැකීමක් නැතත් මට දුකක් තිබුණේ නෑ.වටිනා සාරියක් එක්ක වටිනාම පන්නයේ ආභරණ එක්ක වතාවක් මම ඉහළ මංගල උත්සවයක් ගත්තා.හොඳ ඡායාරූපය ගත්තා.හිරිමල් පුංචි කෙල්ලකට වගේ ලොකු වෙඩින් එකක් මට ඕනෑ නෑ.සැනසීම තමයි මට අංක එක වෙලා දැනුණේ.

පුදුමාකාර වටිනා විවාහ උත්සවයක් කරගෙන විවාහ වෙලා අවුරුදු හතකට පස්සෙ මම දික්කසාද වුණු බව ලියා තැබුවාට ලස්සන වෙඩින් එකක් නෙමෙයි හොඳ සහකාරයෙක් තමයි තෝරා ගත යුතු කියන එක පුංචි නංගිලා ඒ තරම් ඔළුවට ගනීවි කියලා මම හිතන්නේ නැහැ.ලස්සන මනමාලියෙක් වීම හැම ගැහැනු ලමයෙකුගේ ම සිහිනයක්.ඔබට හිතෙනවා නම් සරම ලස්සන විවාහ උත්සවයක් ඔබට අත්‍යවශ්‍යයි කියලා ඒ හීනේ සපුරා නොගෙන ඉන්නත් එපා.සිහිනයක් අහිමිවීමත් ජීවිත කාලයම දුක හිතෙන හේතුවක්.ඒ නිසා ඔබට අවශ්‍ය දේ හරි විදියට කරන්න.

ඉතින් මගේ ජීවිතයට ආයේම අලුත් පරිච්ඡේදයක්.

happy couple

මම ඒ පරිච්ඡේදයත් සිහින අහිමි නොවේවා කියන එකම ප්‍රාර්ථනය එක්ක ලියන්න ගත්තා.විවාහයට මසක් දෙකක් තුනක් ගෙවෙමින් තිබුණා.හැලහප්පීම් නැතුව කාලය ගලා ගිහින් මාස තුනක් විතර ගෙවෙනකොට මට අලුත් සිහිනයක් අත ළඟ ගැවසෙන්න පටන් ගත්තා

“මම අම්මා කෙනෙක් වෙලා..”

මට ඒ සිහිනය ප්‍රමාද කරන්න හේතුවක් තිබුණෙ නැහැ.මගේ ජීවිතය තුළ කාලය නාස්ති වුණු තැන තමයි වැඩිපුර තියෙන්නේ.ඒ නිසාම මේ විවාහයේදී බොහොම ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න මම තීරණයක් ගත්තා.තීරණය වෙනුවෙන් මට මග බලන්න සිදු වුණේ නැහැ.පුංචි ලේ කැටියක් කුසතුල වැඩෙන්න පටන් අරගෙන තිබුණා.මං ආයෙමත් කියනවා මේ හැම දෙයක්ම සංසාර ගනුදෙනු.අපේ පුංචි පැටියට හිමිවිය යුතු ජීවිතය ලියවිලා තියෙන්න ඇති.නිසා තමයි එයා ඒ තරම් ඉක්මනට මාව හොයාගෙන එන්න ඇත්තේ.

ගර්භනී කාලය කියන්නේ හැම ගැහැනියකටම අතිශය වැදගත් කාලයක්.පුදුමාකාර ව සැමියාගේ අවධානය හිමි විය යුතු කාලයක්.උතුරා යන තරමේ ආදරය ලැබිය යුතු කාලයක්.ඒ සියල්ල ලබන්න තරමට මම වාසනාවන්ත වුණා ද?ජීවිතයේ බොහෝ දේවල් ඔබත් එක්ක බෙදා ගත්තු මට ඒ කතාවත් නොකියා ඉන්න හේතුවක් නැහැ.මගේ තුන් වෙනි පරිච්ඡේදය ආදර කතාවක් ද කඳුළු කතාවක් ද කියන එක මම හෙට සිට ඔබට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles