සෑම යොවුන් දියණියකටම මවක් විසින් කිව යුතුම කතාවක්….

මගේ ආදරණීය පුංචි දුවේ, මීට අවුරුදු 13කට කලින් මට ඔයා මුලින් ම මුණගැහුණු දවස, ඔව්, ඒ තමයි මගේ කුසින් ඔයා මේ ලෝකෙට බිහි කරපු දවස… මට අද වගේ මතකයි. එදා ඔයාගෙ තාත්තටයි මටයි ලැබුණු අලුත් තනතුර ගැන ඇතිවුණේ ලොකු ආඩම්බරයක්. මම අම්මා කෙනෙක් වුණේ ඔයා ඉපදුණ නිසා. ඔයාගෙ තාත්තා එදා ඉඳලා හුඟක් වෙනස් වෙන්න පටන් ගත්තා. ඔයාගෙ පුංචි ඇස් දිහා බලාගෙන ඉන්නකොට එයාට මුලු ලෝකෙම අමතක වුණා. එදා ඉඳලා ඔයාගෙ තාත්තා එයාගෙ ජීවිතේ හැම තීන්දුවක් ම ගත්තෙ ඔයා වෙනුවෙන්. ඇත්තටම සමහර වෙලාවට එයාට බිරිඳක් ඉන්න බව පවා අමතක වුණා. එයා ඒ තරමට ම ඔයාට ආදරය කළා.

ඒ දවස්වල මගේ සම්පූර්ණ වෙලාව ඔයා ඔයාගෙ වැඩවලට උදුරගත්තා. ඇත්තටම කියනවනම් ඒ කාලෙ හුඟක් දවස්වල මට නාන්න, කන්න බොන්න, ටී වී බලන්න, නෑදෑ හිතමිතුරන්ගෙ දුක සැප හොයල බලන්න ඔයාගෙන් එක තත්පරයක්වත් හොරකම් කරගන්න බැරිවුණා. ඒත් මං මගේ සම්පූර්ණ කාලය ඔයාට අයිති කරගන්න දුන්නෙ හදවතින් ම සතුටු වෙමිනුයි. තොටිල්ලෙ නිදාගෙන හිටිය පුංචි පැටික්කි තොටිලි වැට පැනලා, අඩි මාරු කර කර ඇවිදින කොට, බත් කට කට කවන්න ඔයාගෙ පස්සෙන් ගේ ඇතුළෙම කිලෝමීටර් ගණනක් දුර ඇවිදින කොට, පාට පාට ලස්සන ගවුම් අන්දවල  කන්නාඩිය ඉස්සරහට එක්ක ගියා ම පුංචි මූණෙ පිරෙන රත්තරන් හිනාව මට අදත් මැවිලා පේනවා.

අකුරින් අකුර ගළපගෙන අම්මා කියල ඔයාට මුලින් ම කියාගන්න පුළුවන් වුණ දවසෙ මගේ හදවතට දැනුනු ආදරණීය හැඟීම වචනවලට ගළපන්න මට කවදාවත් බැහැ. දවසින් දවස ඔයා උස මහත් වෙන කොට ඒ හැඟීම මගේ හිතට හුඟක් බරට දැනෙන්න පටන් ගත්තා. දරුවෙකුට ආදරය, පෝෂණය වගේම රැකවරණය කොයිතරම් දුන්නත් දෙමව්පියන් කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නැහැ. ඔයා මුලින් ම ඉස්කෝලෙට දාලා එන දවසෙ ඔයා අඬනකොට මම මගේ හිතින් දසදහස්වතාවක් තැවුණා. ඔයාගෙ තනිකම බෙදාගන්න බැරුව මම එදා කොයිතරම් අසරණ වුණා ද? ඒත් ටික දවසකට පස්සෙ ඔයා බොහොම සතුටින් ඉස්කෝලෙ යන්න හුරු වුණාම මම හුඟක් හිත සැහැල්ලු කරගත්තා. ඔයා දවසින් දවස නැණ නුවණින් පොහොසත් වෙනකොට තාත්තයි මමයි හුඟක් සතුටු වුණා.

තමන්ගෙ වැඩ තමන් ම කරගන්න

දැන් ඔයා නව යෞවනියක්. Teenager කෙනෙක් වුණාම පුංචි කාලෙ තිබුණු දඟකාරකම් ටිකක් වෙනස් වෙනවා. සමහර වෙලාවට අම්මා තාත්තා හුඟක් දේවල් අහනවට මේ වයසෙ දරුවන්ට තරහ යනවා. දුවේ මේ වයසෙදි ඔයාට ඔයාගෙ වැඩ තනිවම කරගන්න පුළුවනි කියලා හිතෙන එක හොඳයි. ඔයාගෙ කොණ්ඩය ගොතාගන්න, ඔයාගෙ ඇඳුම් සෝදාගන්න, ඔයාගෙ පොත් මේසය පිළිවෙළට අස් කරගන්න, ‍දැන් ඔයාට පුළුවන්.

මතකය ශක්තිමත් කරගන්න

පුංචි කාලෙ වගේ දැන් ඔයාට හැමදේම අම්මා මතක් කරල දෙනකල් ඉන්න ඕනෙ නැහැ. දැන් ඔයාගෙ මතකය හුඟක් ශක්තිමත් කරගන්න. සමහර වෙලාවට අම්මට තාත්තට අමතක වෙන දේවල් පවා ඔයාට දැන් මතක් කරල දෙන්න පුළුවන් වෙන්න ඕනේ.

ශරීරයේ ඇතිවන වෙනස්කම්වලට කලබල වෙන්න එපා

මේ කාලයේ දී ඔයාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් සාමාන්‍යයයි. මේ වයසේ දී නිපදවෙන හෝමෝන නිසා ඇතිවන කුරුලෑ, රෝම, ගැන අනවශ්‍ය විදියට කලබල වෙන්න ඕනෙ නැහැ.

ආරක්ෂාව ගැන දෙවරකටත් වඩා හිතන්න

ඒ වගේම ඔයා යන එන තැන්වල දි, පාසලේ දී, මඟතොට දි, පුස්තකාලයේ දී, නෑ හිතමිතුරන්ගෙ ගෙවල්වල දි ඔයාගෙ හැසිරීම හොඳින් පවත්වා ගන්න. කිසිකෙනෙකුගේ හිත් රිදෙන විදියට කතාකරන්න එපා. තවත් කෙනෙකුට ඔයාගෙ හැසිරීම කරදරයක් වෙන්න දෙන්නත් එපා. ඒ විතරක් නෙවෙයි හැමතැනක දීම තමන්ගෙ ආරක්ෂාව ගැන දෙතුන්පාරක් කල්පනා කරන්න. දැන් ඔයාට ම ඔයාව ආදරයෙන් පරිස්සම් කරගන්න පුළුවන් විය යුතුයි.

හිතේ ප්‍රශ්න බෙදාගන්න

ඔයාට මොකක් හරි ගැටළුවක්, පීඩාවක්, හිත රීදීමක්, දරාගන්න බැරි දුකක් ඇති වුණොත් ඒක හංගගෙන ඉන්න එපා. තනියම දුක්වෙන්න එපා. ඔයාට ඒ වෙලාවට කාටත් වඩා ළඟින් ඉන්නෙ ඔයාගෙ අම්මා. ඔයාව වැඩියෙන් ම දැනෙන්නෙ ඔයාගෙ ඔයාගෙ අම්මටයි තාත්තටයි. ඉතින් හිතේ දුක අපට දෙන්න. ඔයා සතුටින් තියන්න නිසැකව ම අපට පුළුවන්.

අරපරිස්සම, මුදල් කළමනාකරණය ගැන හුඟක් හිතන්න

දුවේ. මේ ජීවිතේ හැමදාම අපට අලුත් අලුත් පාඩම් උගන්වනවා. ඔයා ලැබුණම මම අම්ම කෙනෙකුගෙ පාඩම ඉගෙන ගත්තා. දැන් මගෙ දුවටත් ජීවිතේ ගැන වගකීමෙන් හිතන්න පුළුවනි. දවසක  හොඳ බිරිඳක් වෙන්න, ඉන් පස්සෙ ආදරණීය අම්ම කෙනෙක් වෙන්න ඔයාටත් සිදුවේවි. එදාට ඒ වගකීම් එක්ක ඔයා ජීවිතේ සාර්ථක කරගන්න දක්ෂ වෙන්න ඕනේ. විශේෂයෙන් ම අරපරිස්සම, කළමනාකරණය ඔයාගෙ ජීවිතේ ලස්සන කරන්න උදව් වෙනවා. ඔයාගෙ කාලය, ඔයාගෙ මුදල් සැලකිල්ලෙන් පාවිච්චි කරන්න ‍මේ කාලෙ ඉඳළ ම පුරුදු වෙන්න.

අත්හදාබැලීම් අත්හරින්න

පිරිමි ළමයින් ආශ්‍රය කිරීම, ලිංගිකත්වය වගේ කරුණු මේ කාලෙ ඔයාගෙ ඉස්කෝලෙ යාලුවො සමහරවිට කතා වෙනවා ඇති. ඒවා ගැන කතා බහ කරන්න. දැනුවත් වෙන්න. දැනුම බෙදාගන්න. ඒත් අත්හදාබැලීම්වලට නම් මේ වයස පොඩ්ඩක්වත් ගැළපෙන්නෙ නැහැ.

ඇබ්බැහිවීම් වලින් අමාරුවෙ වැටෙන්න එපා

දුවේ, මේ ටිකත් ඔයාට අනිවාර්යයෙන් ම වැදගත් වේවි. අද හුඟක් නව යොවුන් වයසේ දරුවන් දුරකථන සහ සමාජ ජාලාවලට ඇබ්බැහි වෙලා. අම්ම තාත්ත එක්ක කතාකරන්න පවා ගොඩක් දරුවන්ට වෙලාවක් නැහැ. ඇත්තටම තමන්ගෙ ජීවිතේ තමන්ට මඟඇරෙන හැටි හුඟක් දෙනෙකුට තේරෙන්නෙත් නැහැ. මේ ඇබ්බැහිකම් නිසා තමයි සමහර අයට සිය දිවි නසාගන්න පවා පෙළඹෙන්නේ. තාක්ෂණික සිරකරුවෙක් වෙලා ජීවිතේ විනාශ කරගන්න තරම් මගේ දුව අනුවණ නොවන බව මට විශ්වාසයි.

දුවේ, ඔයා අනාග‍තයේ දවසක හොඳ පෙම්වතියක්, හොඳ බිරිඳක් හොඳ අම්ම කෙනෙක් වෙන්න ඕනෙකරන මුල්ම පාඩම් කිහිපයක් දැන් ඔයා දැනගත්තා. නව යොවුන් දියණියක් ඉන්න අම්ම කෙනෙක් හැටියට ඔයාට හරි දේ  සුදුසුම වෙලාවට කියා දෙන්න මට ඉඩ දුන්නට ඔයාට හුඟක් ස්තුතියි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles