ඔබේ දරුවාට ගැලපෙනම ඇදුම් තෝරා ගන්න ඔබත් දන්නවාද?

සමහර අම්මලා, තාත්තලා හිතාගෙන ඉන්නෙ දරුවන්ට තමන් කැමති කුමක් හෝ ඇඳුමක් මිළ දී ගත්තාම හරි කියලයි. ඒත් දරුවාගේ රුචිකත්වය ගැන නොහිතා පසුම්බිම ගැන සහ තමන්ගේ කැමැත්ත ගැන පමණක් හිතා දරුවන්ට ඇඳුම් ඇන්දවීම කොහෙත්ම සුදුසු නැහැ.

දරුවන් වෙනුවෙන් ඇඳුම් තෝරාගැනීම දෙමව්පියන් විසින් ඉතා සැලකිල්ලෙන් සිදුකළ යුතු කටයුත්තක්. විශේෂයෙන් ම ‍ඇඳුම් ‍සාප්පුවලින් මසා නිම කළ ඇඳුම් මිළ දී ගැනීමේ දී දරුවන්ගේ උස මහත, සමේ පැහැය, පහසුවෙන් දරුවන්ට ඇන්දවීමේ හැකියාව, දරුවාට පහසුවෙන් ඇඳ සිටිය හැකිවීම, වැඩි වාර ගණනක් සේදීමට සිදුවන නිසා කල්පැවැත්ම, කාලගුණික තත්වයන්ට ඔරොත්තු දෙන රෙදි වර්ගවලින් මසා තිබීම වැනි කරුණු රැසක් ගැන  ඔබේ අවධානය යොමු කළ යුතුයි. හැමදේටමත් වඩා දරුවන්ගේ ඇඳුම් වෙනුවෙන් ඔබ වියදම්කරන මුදල කොතරම් විශාල වුණත් දරුවාට ඒ ඇඳුම්වලින් හොඳ පෙනුමක් ලබාදෙන්න නොහැකි නම් මව්පියන් වශයෙන් ඔබ අසාර්ථකයි.

කොහොමද දරුවන්ට වැඩියෙන්ම ගැළපෙන ඇඳුම් තෝරාගන්නේ?

දරුවාගේ ඇඟට ගැළපෙන නිවැරදි Size එක තෝරාගන්න

වෙළඳ පොළේ පොඩිදරුවන්ගෙ ඇඳුම්වලටත් සයිසස් එනවා. එකම මෝස්තරය, එකම රෙදි වර්ගය සයිසස් 4කින් විතර ඔබට මිළ දී ගන්නට පුළුවනි. ඔබේ දරුවාගේ ඇඟේ තරම හරියටම දන්නේ ඔබයි. ඒ නිසා මිළ දී ගන්න ඕනේ S(Small)  M(Medium)  L (Large) XL (Extra Large )  අතරින් කොයි සයිස් එකේ ඇඳුමක් ද කියලා ඔබ නිවැරදිව තීරණය කරන්න.

දරුවාට පහසුවෙන් ඇඳ සිටිය හැකි, පහසුවෙන් ඇන්දවීමට සහ ගැලවීමට හැකි ඇඳුම් තෝරාගන්න

සමහර රෙදි වර්ග සහ සමහර ඇඳුම් මෝස්තර දරුවන්ට ඇඳ සිටීමට පහසු නැහැ. සිල්ක් මිශ්‍ර රෙදි වර්ගවලින් නිම කළ ඇඳුම් දරුවන්ට කිසිසේත් පහසු නැහැ. ඒවගේ ම  සෞඛ්‍යයට හිතකර වන්නේත් නැහැ. මේ  නිසා දරුවන්ට ඇඳුම් මිළ දී ගන්නාවිට පහසු‍ පරිහරණය ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත්.

ගැළපෙන රෙදි මෝස්තර සහ ඇඳුම් විලාසිතා තෝරාගන්න

දරුවන්ගේ හුරුබුහුටි දඟකාර පෙනුම ඉස්මතු වන අයුරින් ඇඳුම් ඇන්දවීම නිර්මාණශීලීව කටයුතු කරන දෙමව්පියන්ට අමුතුවෙන් තේරුම් කරන්න අවශ්‍ය නැහැ. වයසින් මුහුකුරා යන්නටත් කලියෙන් වයස වැඩියෙන් පෙනෙන විදියේ ඇඳුම් විලාසිතා දරුවන්ට හුරුකිරීම කොහෙත්ම නුසුදුසුයි. පුංචි දරුවන්ට ඔබේ වයසේ අවශ්‍යතා ගළපන්න හදන්න එපා. දරුවන් වැඩියෙන් ප්‍රියකරන කුඩා සතුන්, කුඩා මල්වැල්, සමනලයින් කුරුල්ලන්, ඇඳුම්වල මසා ඇති හෝ ස්ටිකර් ලෙස සවි කර ඇති විට දරුවන් ඒවාට වැඩියෙන් ඇලුම් කරන බව මතක තබාගන්න.

සෑම ඇඳුමක් ම අවස්ථාවන් සමඟ නිවැරදිව ගළපන්න

ඔබ දරුවන් සමඟ විනෝදවීමට ‍ළමා උයනකට යනවා නම් ඔවුන්ට ඒ සඳහා ආරක්ෂාකාරී සහ සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. මඟුල් ගෙදරකට යන ඇඳුම සහ පූජනීය ස්ථානයට යන ඇඳුම එක හා සමාන වීම කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. දරුවන්ට ඇඳුම් ගන්නට සාප්පු සවාරි යනවිට පහසුවෙන් ගැලවිය හැකි පහසුවෙන් ඇන්දවිය හැකි ඇඳුම් වඩාත් සුදුසුයි.

ප්‍රසිද්ධ මෝස්තරවල ඇඳුම්වලට වඩා ඔබේ දරුවාට ම සුවිශේෂ වූ අලුත් මෝස්තර අත්හදා බලන්න

මේ සඳහා නම් හොඳම විසඳුම ඔබ ම ඔබේ දරුවාගේ ඇඳුම් මසා දීමයි. ඇත්තෙන් ම එසේ කළ හැකි නම් ඔබට සාප්පු ඇඳුම්වලට වඩා අඩු පිරිවැයකින් ඔබේ දරුවා හැඩ කරගන්නට හැකියි. එසේ නැත්නම් ඔබ අවශ්‍ය මෝස්තරය කියා රෙදි මිළ දී ගෙන ඇඳුම් මස්සවා ගැනීමත් කළ හැකියි. කෙසේ වුවත් එය නම් එතරම් පිරිවැය ඉතිරිවන කටයුත්තක් විය නොහැකියි.

තෝරාගන්නා ඇඳුම්වල වර්ණ දරුවන්ගේ සමේ පැහැය සමඟ ගැළපේදැයි පරීක්ෂා කරන්න

සමහර තද පැහැයන් සමේ පැහැය සමඟ දරුවන්ට නොගැළපෙන අවස්ථා තිබෙනවා. දරුවා වෙනුවට ඇඳුම මතු වී පෙනෙන ආකාරයට ඇඳුම් අන්දවන්න එපා. එය ඔබ විසින් ම ඔබේ දරුවා අවලස්සන කර පෙන්වීමක්. නිවැරදිව වර්ණ ගළපන්නටත්, විශේෂයෙන් ම සාය-හැට්ට සහ කලිසම් කමිස අන්දවන විට නිවැරදිව ගළපා අන්දවන්නටත් අමතක කරන්න එපා.

කල්පැවැත්ම, ගෙවන මිලට සාධාරණ පෙනුම, පවතීදැයි පරීක්ෂා කරන්න

ඔබ දරුවා වෙනුවෙන් වැය කරන හැම මුදලක් ම නිකරුණේ නාස්ති වීමක් නොවිය යුතුයි. කල්පවතින සහ ගෙවන මුදලට වටිනාකම පෙනෙන ඇඳුම් දරුවා වෙනුවෙන් හැමවිටම තෝරාගන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles