(අ)හිමි සිහින -68

ඒ මම ජනප්‍රිය වෙමින් පැවතුණු කාලය.තමන්ගේ බිරිඳ යම් ක්ෂේත්‍රයක දක්ෂතා දක්වමින් රටේ ආදරයට සහ ගෞරවයට ලක් වීම සැමියෙකුට ආඩම්බරයක් බව ඇත්ත.නමුත් චමල් මම ගැන ආඩම්බර වීමට වඩා තරමක් එහාට ගියා.ඔහු මගේ ජනප්‍රිය වීම අපි හරි ලොකු මිනිස්සු කියලා රටට පෙන්වන්න පාවිච්චි කළා.රූපවාහිනි වැඩසටහන්වල පෙනී සිටීම සහ ප්‍රමුඛ පෙළේ ආයතනයක සැලකියයුතු නිලයක් දැරීම මට හොඳ වැටුපක් ලබා දුන්නා.ඒක බොරුවක් නෙවෙයි.ඒත් මම කෝටිපතිනියක් නොවන බව චමල් වටහා ගත්තේ නෑ

“ආ පුතා..කොහොමද? මේක අරන් සෙල්ලම් බඩුවක් ගන්න..”

“පුංචි අම්මේ..ආ.ආ.මේක තියාගන්න..”

ඔය වගේ නානාප්‍රකාර කතා කිය කියා ඔහු ගමේ ගියාම ඥාතීන් අත මුදල් මිට මොලවනවා.පොඩි ගණනුත් නෙවෙයි.මොණරු දෙතුන් දෙනෙක් එක්කෙනෙකුට දෙන්න කිසිම විදියකින් ඔහු පසුබට වුණේ නැහැ.හැබැයි ඒ මුදල් මගේ.ඔහුගේ සල්ලි ඉතාම ඉක්මනින් බීමට වැය කරලා ඊටපස්සෙ මගේ බැංකු කාඩ්පත් පාවිච්චි කරන චමල්ට ඔය වගේ රාජකාරිවලට පෙනුණෙත් මගේ සල්ලිම තමයි.බොහොම අමාරු තැනක ඉන්න ඥාතියෙකුට උදව් කිරීම කිසිසේත්ම වරදක් නෙවෙයි.ඒත් නිකරුණේ සල්ලි පූජා කරලා අපි හරි ලොකු මිනිස්සු කියලා කියන්න ඔහුට තිබ්බ උවමනාව මට තේරුම් ගන්න අමාරු මට්ටමක එකක් වුණා.

චමල් ටිකක් ප්‍රචණ්ඩ වෙන්න ගත්තේ ඔය කාලයේ.බොන්න යන්න එපා සහ අසීමිත මිතුරු ඇසුර ටිකක් අඩු කරන්න කීවම ඔහු මට බැනගෙන එන්නත් පටන් ගත්තා.මාව ගණන් නොගෙන මම කියන දේ නාහා ඔහුට අවශ්‍ය දේ කරන බව පෙන්වන්න චමල්ට තිබුණේ ලොකු උවමනාවක්.

“එතකොට බබා ලැබිලද?”

ස්මාර්ට්ලේඩි කණ්ඩායම මගෙන් ප්‍රශ්නයක් අහනවා.

නැහැ! ඔහුගේ දැඩි නොසැලකිලිමත්කම මම ගැබිණියක හැටියටයි දරා ගත්තේ.මගේ කුසේ ඔහුගේ දරුවා ඉඳිද්දී තමයි ඔහු මේ රස්තියාදුකාර ජීවිතේ දිගටම අරගෙන ගියේ.එහෙම කරන්න එපා කියලා ඔහුට උපදෙස් දෙන්නත් කවුරුත් හිටියේ නැහැ.ඔහුගේ මිතුරන් බහුතරයක් පවුල් ජීවිතය දැඩි ලෙස අර්බුදයට හරවා ගත්තු අය.තමන්ගේ මොනවා හරි ගැටලුවක් ගැන කිව්වම ඔවුන්ට තිබුණේ බොහොම පහසු උත්තර.

“අපි අද හොඳට බොමු.අපි කැසිනෝ එක පැත්තෙ යමු මචං..”

පවුල් ජීවිතේ සහමුලින්ම අවුල් කරගෙන හිටිය ඒ බහුතරයක් දෙනා චමල් කරන සමහර කාරණා බොහොම සුළුවෙන් දැක්කා.ඔහුගේ ඕනෑම ප්‍රශ්නයක් බීමෙන් විසඳා ගන්න පුලුවන් කියලා විශ්වාස කරා.ඒ නිසා අපේ ප්‍රශ්න තවත් වැඩි වෙන්නත් ඇති.

“එක අතකට හොඳ වැඩේ.අසංකගේ සිද්ධිය හොඳටම ඇති ඔයාට ආදරේ ගැන තීරණයක් ගන්න.”

මම එහෙම ප්‍රතිචාරයක් දැක්කා.මම හිතන්නේ අපි ජීවිතය පුරාම හොඳම ආදරය ලැබෙන තුරු බලාගෙන ඉන්නවා.කසාදයකින් දික්කසාද වෙලා ආයේම විවාහ වෙලා ඒ විවාහයත් අසාර්ථක වෙන ගැහැනියක් මෝඩයෙක් කියලා හිතන්න එපා.

“ඒ ආදරය නැවත නැවතත් විශ්වාස කළ ගැහැනියක්.”

ආදරය කොතැනක හෝ ඇති බවත් ජීවිතය සුන්දරව ගත කරන්න කුටුම්භයක් අවශ්‍ය බවත් ගැහැනු සියයට අසූවක්වත් හිතනවා ඇති.මමත් එවැන්නියක්.මම හිතුවා පරිණත ආදරවන්තයන් විදියට ජීවිතය යහපත්ව පවත්වා ගන්න මටත් චමල්ටත් හැකි වෙයි කියලා.ඒ අදහසින් තමයි මම විවාහයකට ගියේ.ඔහුගේ දරුවෙකු ඉක්මනින් කුස දරන තීරණයකට ආවේ.

ඒත් මටත් කොහේ හෝ වරදින්න ඇති!

කුසේ දඟලමින් මගේ ජීවිතයට නොකඩවාම බලාපොරොත්තු අරගෙන එන පුංචි ජීවියා මට සියල්ල දරා ගන්නට බලකරමින් සහ ධෛර්යය දෙමින් සිටියා.ඒ මුහුණ දකින නොතිත් ආශාවක් ඇතිව මම එයාගේ තාත්තාගේ හැම නොපනත්කමක්ම දරා ගත්තා.

“එයා ආවම චමල් මීට වඩා හොඳ කෙනෙක් වෙයි..”

සමහරවිට මම එහෙම හිතන්නත් ඇති

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles