(අ)හිමි සිහින -70

චමල් නොනවත්වාම මත්පැන් පානය කරමින් ඉන්නකොට අපිට ඔහුගේ නිවසින් ඇමතුමක් ආවා.ඒ ඇමතුමෙන් කියැවුණේ රාත්‍රී ආහාරය ඔහුගේ ඥාති නිවසක සූදානම් කර තිබෙන බවක්.ඉතින් අපි එහෙට යා යුතු වුණත් චමල් මෙලෝ සිහියක් නැතුව බොන්න පටන් අරන් තිබුණා.

“අපිට නෑදෑ ගෙදරකටත් යන්න තියන නිසා ඔය බිව්වා ඇති නේද?”

බැරිම තැන මම ඇහුවා.නමුත් චමල් ඒ කතාවට ඇහුම්කන් දුන්නේ නෑ.නෑහුණා වගේ බොනවා! බොනවා!! බොනවා!!
.
අන්තිමට රෑ හතට විතර මම ඔහු එක්ක මහගෙදරටත් අර කිව්ව ඥාති ගෙදරටත් යන්න පිටත් වුණේ බලහත්කාරයෙන් වගේ.වාහනයට නැගලා ටිකක් දුර ගියාට පස්සේ මම චමල්ට ටිකක් තදින් කතා කළා.

“මොකක්ද චමල් ඔය බීම.ඇයි ඔයාට ඔයාව පාලනයක් නැත්තේ?”

මම ඇහුවේ එච්චරයි.හොඳටම බීමතින් හිටිය චමල් දැඩි ආවේගයට පත් වුණා.කොහොමටත් ඔහු ඉක්මනින් ආවේගශීලි වෙන මනුස්සයෙක්.ඒ මොහොතේ තදබල ආවේගයකට ආව චමල් වාහනේ වේගය දෙසීයට විතර වැඩි කරා.දැන් ඔහු පුදුම වේගයකින් වාහනය අරගෙන යනවා.ඒ වයඹ පළාතේ තරමක ග්‍රාමීය ප්‍රදේශයක්.ඇත්තටම ඒ පාරවල් කැලෑබද පාරවල්.අධිවේගී මාර්ගයේ යන තරමට වේගයෙන් ඒ පාරවල්වල යන්නට බැහැ.

මං ජීවිතය තුළ සියදිවි නසා ගත යුතු අවස්ථා ඕනෑතරමට පහු කළා.ඒ කිසිම අවස්ථාවක ජීවිතය අත හැරීම වෙනුවට සටන් කරමින් ජීවිතය දරා හිඳින්න මම තීරණය කළා.ඒ නිසා මම ජීවිතේ වටිනාකම දන්න ගෑනියෙක්.මට කිසිසේත්ම හදිසි අනතුරකට ලක්ව මියැදෙන්නට ඕනෑ වුණේ නැහැ.අනික මම ගැබිණියක්.එක ජීවිතයක් නෙවෙයි.මම ළඟ ජීවිත දෙකක් තියෙනවා.අනිත් කාරණාව එක්වරම මිය ගියොත් ඒක එකක්.ඒත් සදාකාලික ආබාධිතයෙක් වුණොත්.අනිත් කාරණාව මේ මගේ මුදලින් ගත් වාහනයක්.එය හැප්පී විනාස වෙනවා දකින්නත් මට ඕනෑ වුණේ නැහැ.

මට දාහක් දේවල් හිතෙනවා!

මම දිගින් දිගටම ඔහුට වාහනයේ වේගය අඩු කරන්නැයි ඉල්ලා සිටියා.එය බැගෑපත් වීමක සිට රණ්ඩු කිරීමක් දක්වා පැතිරුණා.චමල් වාහනය පාලු ස්ථානයක නතර කරා.හොඳටම කළුවර වැටුණු කැලෑබද මාවතේ කිසිම කෙනෙක් හිටියේ නැහැ.

“බහිනවා!”

ඔහු මට නියෝග කළා.අහළ පහලක විදුලි එළියක් තබා කණාමැදිරියෙකුවත් නැහැ.පේන තෙක් මානයක ගෙයක් තබා අම්බලමක්වත් නැහැ.හාත්පස අඳුර තැවරිලා.මම ඒ පළාතේ පාරවල් ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැහැ.
තමන්ගේ කුළුදුල් දරුවා කුසෙහි දරා සිටින සත්මස් ගැබිණි බිරිඳ ඒ පාළු පාරේ දමා චමල් යන්නට ගියා.ඒ මට ඉතා කටුක වදනින් සංග්‍රහ කිරීමෙනුත් පසුවයි.

p

මට ඒ වාහනයේ ගමන් කරනවාට වඩා අර පාළු පාරේ තනිව හිඳීම එක අතකට ආරක්ෂිතයි.ඒත් වාහනය නොපෙනී ගිය පසු මට මහා පුදුමාකාර තනිකමක් සහ අසරණකමක් දැනුණා.ඒ අසරණකම විස්තර කරන්නට මට වචන නැහැ.එදා තිබුණෙත් නැහැ.අදත් මට ඒ කතාව විස්තර කරන්නට වචන නෑ.ඔබට මතක ඇති මම මහනුවර රෝහලේ ඩෙංගු රෝගියෙක් විදියට ප්‍රතිකාර ගත් දවස්.අන්න ඒ දවස්වල දැනුණු තනිකමටත් වඩා ලක්ෂ වාරයක තනිකමකින් මා දැවී යන්නට පටන් ගත්තා.මගේ අතේ ජංගම දුරකථනයක් තිබුණා.මම ඉන්න තැනවත් කියන්න දන්නේ නැහැ.හාත්පස අඳුර පැතිරිලා.මම ඒ අඳුරු මාවත දිගේ ඔහේ ඉදිරියට ඇවිදගෙන ගියා.

“මං ජීවිතේ මොනතරම් නම් ආදරයක් හොයපු කෙල්ලක්ද? ඒත් මට කිසිම විදියකට ආදරයක් සෙනෙහසක් නොලැබෙන්නේ ඇයි? මං කිසිම භෞතික දෙයක් ආදරවන්තයන්ගෙන් හෙව්වෙ නැහැ.මම හෙව්වෙ ආදරය.මට නොලැබුණු එකම දේත් ආදරය..”

කුස තුළ සිටින කුඩා ජීවියා මගේ ඒ හැඬුම් හඬ අසා මට ධෛර්යය දෙන්නට ඇති.මට එක්වරම මහත් ශක්තියක් දැනුණා.ඒ කිරි සිනාව මගේ දෑතේ පිපෙන දිනක ජීවත් වන්නට ඒ ආදරය හොඳටම ප්‍රමාණවත් බවත් මා කෙසේ හෝ මේ සියලු ගැහැට දරා ගනිමින් ඒ ජීවිතය ජීවත් කළ යුතු බවත් මම හිතුවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...