(අ)හිමි සිහින -77

අපේ පරණ කාර් එක විකුණන්න මම තීරණය කළා.වාහනය විකුණනකොට මගේ දූ මට ලැබිලා.තනි තීරණ මත වැඩ කරපු නිසා මම දූගේ තාත්තා ළඟට ගිහින් මගේ තීරණය කිව්වා.

“මේ වාහනේට වියදම් විතරයි.අපි වාහනේ විකුණමු.”

අලුත් එකක් ගන්න කතාව නොකියා මම චමල්ට එහෙම කිව්වා.ලීසිං ගෙවමින් තවත් අලුත්වැඩියා සඳහාත් වියදම් කරන්න ඇත්තටම ඉතිං කොහෙ තියන සල්ලියක්ද!!

ඒ වාහනය විකුණන්න අපිට පුලුවන් වුණේ ලක්ෂ විසි හයහමාරකටයි.බ්‍රෝකර් කෙනෙකු මාර්ගයෙන් විකුණා දමන තීරණයකට ආවාම බ්‍රෝකර්ව හොයා ගත්තේ චමල්.විකිණීම් වැඩ කටයුතු නිමා වී මගේ අතට මුදල් ලැබුණු මොහොතේ චමල් කසුකුසුවෙන් මා අමතන්න ගත්තා.

Angry Couple

“පනස්දාහක් දෙන්න..පනස්දාහක් දෙන්න..”

මේ කලබලය මොකක්ද කියලා හිතාගන්න බැරි වුණු මම ඔහු අත සල්ලි තිබ්බා.අනුන්ගේ මුදලක් ගැන කිසිම දවසක බරක් නොතිබුණු කවදාවත් සල්ලි ගැන බරපතලක් නොදැනුණු චමල් ඒ වෙලාවෙත් කළේ ඇඟේ මාළු නටන වැඩක්

“මේ..මේ..මෙහෙ එන්න.මේක තියාගන්න.”

චමල් එහෙම කියන ගමන් බ්‍රෝකර්ට රුපියල් පනස්දාහක් දුන්නා.හොරෙන් අතමිට මොලවන විදිය බලන් හිටිය මට එක දෙයක් තේරුම් ගියා.ඒ බ්‍රෝකර් ඉල්ලා සිටි ගාස්තුව නෙවෙයි.චමල් සන්තෝසය වෙනුවෙන් ලබා දුන් දෙයක්.දැන් ඒ සල්ලිය ගහලා උදුරා ගන්නයැ.ඒ බ්‍රෝකර් ගාස්තුව රුපියල් දහදාහක් පමණ වෙන්න ඇති.දෙදහස් දහහතර වගේ කාලයක වුණු වැඩක් මේ.ඒ කාලයේ රුපියල් පනස්දහසක් කියන්නේ මොනතරම් ලොකු මුදලක්ද!

ඒ වගේ තව සිද්ධි නම් අනන්ත අප්‍රමාණයි.නමුත් මේ වෙනකොට ඇත්ත කතා කරමින් ගැහැනියක ලෙස මා කළ සමහර අනුවණ දේ ලියන මට අපහාස කරන පිරිසක් ඉන්න නිසා මේ වගේ කාරණා වැඩිය ඔබ එක්ක බෙදා නොගන්න අපි හිතුවා.ඒ හැම කතාවක්ම ඔබට කිව්වේ මම මෝඩකමක් කළා නම් ඒ ගැන උජෝ වඩන්න නෙවෙයි.ගැහැනියකට ආදරේ නාමෙන් හෝ කුමක් හෝ හේතුවකින් වරදින්න පුලුවන් කොහොමද කියලා ඔබට කියන්නයි.

බැඳගත්ත බෙරය ගහමින් මම ජීවිතය ගෙවන්න පටන් ගත්‍තා!

මගේ දුව ලැබිලා සතියකට පස්සේ මම ආපහු රාජකාරි පටන් ගත්තා.මම හැමදවසකම ඔෆිස් ගිය කෙනෙක් නෙවෙයි.ඒ නිසා මට ඒක ඒ තරම් අපහසු වුණේ නැහැ.ඒ වගේම මම රූපවාහිනි වැඩසටහනක් ද කරා.මම දූව ඒ හැමතැනකටම එක්ක ගියා.ගිහින් බලාගත්තා.දූගේ වගකීම අම්මාටවත් පවරන්න මට උවමනා වුණේ නැහැ.මගේ දූ වෙනුවෙන් ගලා යන තරමට මට මව්කිරි තිබුණා.මම කිරි එරෙන්න කියලා එක එක ජාති කෑවේ නම් නැහැ.ඒත් දූ වෙනුවෙන් මට මව්කිරි හොඳටෝම තිබුණා.දැන් අවුරුදු නවයක් වෙලාත් බොරුවට මව්කිරි හොයන කෙල්ලක් තමයි මට ඉන්නෙ.චීස් බෝලයක් වගේ ලස්සන සුරංගනාවියක් මට ඉන්නේ.අම්මාටත් තාත්තාටත් මම වගකීම් නොදුන්නට එයාලා මට කිසිම මානසික අඩුපාඩුවක් කළේ නැහැ.මමත් දූත් හොඳින් බලා ගන්න එයාලා වගබලා ගත්තා.මට ආර්ථික වශයෙන් අඩුපාඩු තිබුණෙත් නෑ.මගේ දූ මට කිසිම කරදරයක් නොකළ දරුවෙක්.මම ඇහැරෙනකොට ඇහැරෙන මාත් එක්කම නිදාගන්න දරුවෙක්.මම වාසනාවන්ත අම්මා කෙනෙක් කියලා හිතෙනකොට මට දැනුණේ හරි සහනයක්.දූ නිසා මම ක්‍රමයෙන් මානසික ස්ථාවර බවක් ලබමින් හිටියා.

රෑ පාටිවලට ගිහින් එන ඇවිදින් ජනේලයට තට්ටු කරන තාත්තා දූට බාධාවක් බව මට හිතුණේ ඒඅතරේදී.මම චමල්ට වෙනම කාමරයක් ලෑස්ති කරා.බබාට බාධාවක් නිසා ඒ කාමරයේ නිදාගන්න කියලා මම ඔහුට යෝජනා කරා.වෙරි මරගාතේ ගෙදරට එන මිනිහෙක්ට සද්ද කරලා රෑට ගොරවලා පොඩි දරුවෙකුගේ නින්ද කඩන්න ඉඩ දෙන්නේ මොකටද!

නොහිතා ගත්තු ඒ පියවරත් ජීවිතයේ මම තැබු තව එක පියවරක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles