බොඳවෙන හීන.

“ඇයි ඔයා පෝලිම පැන්නේ?’

අමාලි හැරිලා බැලුවේ පිටිපස්සෙන් ඇහුණු සැර හඬට.වයස කියන්න මුව ආවරණය නිසා අමාරු වුණත් නපුරුම නපුරු පාට ඇස් දෙකක් අමාලි දිහා බලාගෙන ඉන්නේ රවාගෙන.පෝලිම පැන්නේ නෑ කියලා විශ්වාස වුණාට අමාලි ඒ කාන්තාවට ඉඩ දීලා පස්සට වුණා.

“කන පැලෙන්න දෙන්න හිතෙනව,බොරුවට අහිංසකකම් පෙන්නකොට.මම මෙතන කාට් එක තියලා බඩුවක් ගන්න ගියේ.”

සුපිරි වෙළඳ සැල දෙදරන තරම් හයියෙන් කෑගහන ගැහැනිය දිහා බලපු අමාලි “සමා වෙන්න” කියා ගත්තා.

“ඔයා සොරි කිව්වේ අපරාදේ අනේ.ඔයාගේ වරදක් නෑනෙ.කවුරුත් ඉන්නෙ පවර් කට් එකට කලින් ගෙදර යන හදිස්සියෙන්.”

අමාලිට පිටිපස්සේ හිටිය කෙනා එහෙම කියනවා.අමාලි හිනා වුණා.හිනා වුණාට හිනාව පේනවා කියලයැ.ඒ නිසා අමාලි කතා කරන්න හිතුවා.

“කමක් නැහැ අනේ.මේක මහා ස්ට්‍රෙස් කාලයක්නෙ.හැමෝම ඉන්නේ පුදුම තරම් පීඩනයකින්.කාගෙන්ම හරි ඒ පීඩනය පිටවෙනවා.”

අමාලි එහෙම කියාගෙන වෙළඳ සැලෙන් එළියට ආවා.පාර අයිනේ පලා විකුණනවා.එතන කොළ ජාති කොහොමත් හොඳ නිසා අමාලිට කොළ ජාතියක් මිලට ගන්න හිතුණා.

“අද මොකුත්ම විකිණිලා නෑනේ ආන්ටි..”

එහෙම අහන අමාලි දිහා පලා වෙළෙන්දි බැලුවේ දුක්මුසු මුහුණකින්.දරුවෝ බඩගින්නේ ගෙදර බලාගෙනත් ඇති.අමාලි පලා මිටියක් අරගෙන නෝට්ටුවක් වෙළෙන්දිගේ අත තිබ්බා.ඒ නියමිත ගාණ නෙවෙයි.ඒත් මේ කොච්චර අමාරු කාලයක්ද?

“වහ ටිකක් තමා කන්න වෙන්නේ නෝනා..”

වෙළෙන්දියට මොනවාහරි කියන්න හිතනකොටම එතනින් ගිය මෝටර් බයිසිකල් කීපයේ පොඩි පිරිමි ළමයි අමාලිට අශ්ශීල විහිලුවක් කරන්න අමතක කරේ නෑ.අමාලිට කේන්තියක් එක්කම දුකක් ආවා.අම්මලා තාත්තලා අමාරු ජීවන සටනක ඉන්න මේ වගේ වෙලාවක රස්තියාදු ගහනවා මදිවට කටවල් තියාගෙන ඉන්නත් බෑ.

“මේ කාලේ රණ්ඩුවලට නම් පැටලෙන්න එපා.හරිම කලබලකාරී කාලයක් මේ.”

ෆේස්බුක් එකේ දැක්ක සටහනක් අමාලිට මතක් වෙනවා.අමාලි ඒ ගැන ආයේ මතක් කරගෙන තුන් රෝද රියකට අත දැම්මා.

“අපෝ ළඟ වැඩී මිස්..පෙට්‍රල් පුච්චා ගන්න එකත් අපරාදේ..”

හත් අට දෙනෙක්ම එහෙම කියලා යන්න ගියා.අමාලි ළඟ නැවතුණේ වයසක රියදුරෙක්.ඔහු යන්නේ බොහොම හිමින් ගමනක්.දෙතුන් දෙනෙක්ම වාහනෙන් ඔලුව එළියට දාලා “තමුසෙ ඉබ්බෙක්ද ඕයි” අහන තරමට හෙමින් ගමනක්.අමාලි මොකුත්ම නොකියා ඉවසීමෙන් හිටියා.

“මේ වෙලාවේ හම්බ කරන් කන වාහනේට මොකක් හරි වුණොත් ඔය කවුරුත් අපේ ගෙවල්වලට කන්න අඳින්න දෙනවයැ නෝනා.”

රියදුරා කියනවා.අමාලි හිස වැනුවේ ඒ කතාව අනුමත කරන්න.අමතර අසනීප වලට නාස්ති කරන්න සල්ලියක් නෑ කියලා මතක් වෙලා අද උදේ ත්‍රීවිලර් ඩ්‍රයිවර් වුණු තරුණයට හෙමින් යමු කියලා බැනුම් අහපු හැටි අමාලිට මතක් වෙනවා.

“ඉක්මන් කරලා හයර් දෙක තුනක් කරගන්න ඕන නෝනා.නැතුව කොහොමද කීයක් හරි හොයාගන්නෙ.”

අමාලි ගෙදර යනතුරු දුරකථනය අරගෙන ෆේස්බුක් පැත්තට ගියා.අර පෝලිම් මේ පෝලිම් මැද්දේ හැමතැනම ගැටුම් පේනකොට අමාලිගේ ඔලුව අවුල් වෙනවා.කාන්තා සමූහවලට වෙනදාට වඩා නිර්නාමික ගැටලු එනවා.මිනිස්සු ඉන්නේ පුදුම ආතතියකින් කියලා හිතෙනකොට අමාලිට දැනෙන්නේ මහා වේදනාවක්.මේ විදියට රට යන්නේ කොයි අතටද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට ඉස්සරහට කන්න බොන්නවත් නැතුව යයි කියන කතා අහලා අමාලිට බයක් දැනෙන්නේ දරුවෝ ගැන.

“ඉක්මනින් මේ රටෙන් යන්න ඕන අමා..”

ඊයේ රෑ කසුන් එහෙම කිව්වේ නිදාගෙන ඉන්න චූටි පුතාගෙ ඔලුව අත ගාන ගමන්.ඉගෙනීමේ උපරිම පල ප්‍රයෝජන ගත්තු නිසා ඒ ගමන අපහසු වෙන එකක් නැහැ.ඒත් එහෙම යන්න බැරි මිනිස්සු.

ගෙදරට යන පාරට හැරෙනකොට අමාලි දැක්කේ එහා ගෙදර සුනීතා කඩේට ගිහින් එන හැටි.ත්‍රීවිල් එකට සල්ලි දීලා බහිනකොටම සුනීතා අමාලිව පහු කරගෙන යනවා.සුනීතා සනීපාරක්ෂක සේවිකාවක්.අමාලි දිහා බලන සුනීතා හිනා වෙන්න ඇති කියලා අඳුර මැඳින් වුණත් අමාලිට හිතෙනවා.

“පාන් රාත්තලක් ගිය ගණන් නෝනා.ලුණුකැඳ ටිකක් වත් බීලා ඉන්න තමයි වෙන්නේ.”

සුනීතාගේ අතේ පුංචි මල්ලක්.ඉස්සර සුනීතාට අමාරු වෙලාවට මොනමොනවාහරි උදව්වක් කළත් දැන් ඒකත් අමාරු බව මතක් වෙනකොට අමාලි උත්තර නැතුව ගල් ගැහෙනවා.තව ටික කාලයකින් අසල්වැසියන් බඩගින්නේ මිය යනවා දකින්න වෙයිද කියලා හිතනකොට අමාලිට බයයි.

“දාඩිය දාලා බබා හොඳටම අඬනවා පුතේ.”

අමාලිගේ අම්මා මිදුලට බැහැලා ඉන්නේ අඳුරෙමයි.මේ මහා රස්නේ පුතාට ෆෑන් එක නැතුව බෑ.විදුලිය තව පැයකටවත් එන්නෙත් නෑ.ඒ කතා පුතාට තේරෙන්නේ නැහැ.අඳුරට දල්වන ඉටිපන්දම් සේරමත් හැපි බර්ත්ඩේ කියලා නිමලා දාන පුතාට පවර් කට් කියන කාරණාව කොහොම තේරුම් කරන්නද?

“මේ කලුවරේ දොරවල් ඇරගෙන ඉන්න එපා අම්මේ.හොරුත් හැමතැනම.”

වසංගතයක් හින්දා පුතාගේ ළඟටවත් එන්න බැරිකමට අමාලි පුතා අඬද්දිම අඳුරු නාන කාමරයට යන්නේ එහෙම කියාගෙන.එළියක් පෙනෙන තෙක් මානයක නැති ලෝකයක සීතලක් හොයාගෙන අමාලි වතුර මල යටට වෙනවා.

“ඉවසනව ඇරෙන්න මොනව කරන්නද?”

අමාලි හිතන්නේ වේදනාවෙන්.ඉවසීමත් කෙළවර වෙනතුරුම ඉවසන්න හිතාගෙන අමාලි දවසේ වේදනාව වතුර මල යට දිය කරනවා.අනාගතය ගැන ඇති වෙන බයත් වේදනාවත් එහෙම දිය කරන්න බැරි බව වැටහෙනකොට අමාලිට දැනෙන්නේ පුදුමාකාර බයක්.

More Stories

Don't Miss


Latest Articles