අනුන්ව හැදිල්ල.

තමාලි රෙදි බේසමෙන් ඇඳුම් එක එක අරගෙන වනන්න ගත්තේ ඉස්සරහා ගෙදර තාප්පේ අයිනේ ඉන්න මිසිස් සුරවීර නොදැක්ක ගාණට.මොකක්මහරි ඇදයක් හොයා ගන්න නිසා මිසිස් සුරවීර නොදැක්කා වගේ ඉඳීම හිතට සහනයක්.අනිත් කාරණේ පහුගිය දවසක තමාලි කියපු කතාවක් නිසා මිසිස් සුරවීර තමාලිට කතා කරන එකක් නෑ කියලමයි තමාලිට හිතුණේ.

එදා තමාලි ගෙදර ඉඳන් ඔෆිස් වැඩ ගොඩක එරිලා හිටිය දවසක්.සතියේ දවස් පහම රෑ කළුවර එක්ක ඔෆිස් ගිහින් එන සෙනසුරාදාට ඩිග්‍රි එකක වැඩකටයුතුවලට දුවන තමාලිට මිසිස් සුරවීර කියන තරමට ගෘහ අලංකරණයේ යෙදෙන්න වෙලාවක් නෑ.එදා හදිසි කුරියර් පාර්සලයක් ගන්න ගේට්ටුව ළඟට දුවගෙන ආව තමාලිට කුරියර් ඉලන්දාරියටත් කලින් කතා කරේ මිසිස් සුරවීර.

“මොකක්ද තමාලි ඔය ගෙදරක හැටි.අර මකුළු දැල් ගොඩ බලන්නකො.දැන්මම කොස්සක් ගෙන්නලා කඩලා දාන්න.”

කුරියර් ඉලන්දාරියාත් ආපු වැඩේ අමතක කරලා මිසිස් සුරවීර දිහා කට ඇරගෙන බලන් ඉන්නකොට තමාලිට ඉවසීමේ රතු කට්ට පැන්නා.තමාලිගෙත් සංකගෙත් කාර්යබහුලකම ඒ ඉලන්දාරියා නොදන්නවට මිසිස් සුරවීර හොඳට දන්නවා.

“ආන්ටි,මං ඔෆිස් එකේ හදිසි මීටිමක ඉන්නේ.මං කියන්නද? මං මේක කඩනකන් ආන්ටි එතන වාඩිවෙලා අපේ අය අහන රිපෝට්ස් පෙන්නනවද?”

කුරියර් ඉලන්දාරියා මෝටර් සයිකලේ හරවා ගන්නවට වඩා වේගයෙන් මිසිස් සුරවීර යන්න ගියා.ඒත් මෙන්න අදත් ඇස් කරකවනවා

“තමාලි,ඉස්සර ඔහේ ආව ගිය ජෝඩුව ඇයි දැන් එන්නෙ නැත්තෙ? අමනාප වෙලාද යාලුවෝ? අර රතු කාරෙකේ ආවේ..”

අදත් තව මාතෘකාවක්.නඳුනියි ඉමේෂුයි දෙන්නා දැන් ඉන්නේ ඇමරිකාවල කියලා මොනතරම් වාරයක් තමාලි සුරවීර නෝනාට කියල ඇතිද? ඒත් ඉතින් තේරුමක් නෑ.එයාට ඕනෑ යාලුවෝ තරහා වෙලා වගෙ ඕපාදූපයක් අහගන්න.ඒත් තමාලි හාරලක්ෂ අසූ තුන්වෙනි වතාවටත් යාළුවෝ දැන් ලංකාවේ නැති බව මිසිස් සුරවීරට කිව්වා.

“සංකගේ අම්මලා එහෙම එන්නෙවත් නෑ නේද?”

සංකගේ අම්මා ඉන්නේ අම්පාරටත් ටිකක් එහා දුරක.සංකගේ එකම අක්කා ග්‍රාමීය රෝහලක වෛද්‍යවරියක වීම නිසා සංකගේ අම්මා අක්කාගේ ගෙදරට සින්න වෙලා.හැම උදේකම “කොහොමද පුතේ” කියාගෙන ඇහෙන ඇමතුම මිසිස් සුරවීරට ස්පීකර් එකක් දාලා අහන්න දෙන්න තරම් තරහක් තමාලිට එන්නේ සංකගේ අම්මා අමනාපයෙන් ද කියලා අහනකොට.ඒත් තමාලි අමාරු හිනාවක් මුහුණට ගන්නවා.අක්කාගේ තනිය මකන්න නැන්දම්මාට සිද්ධ වෙලා තියන හැටි මතක් කරලා දෙනවා.

“ඒක මිසක්.නැත්තං ඒ අම්මලට වෙනස්කම් එහෙම කරන්න එපා තමාලි.රත්තරං පුතෙක් හදලා ඔයාට දුන්නනෙ.”

තමාලි ඔලුව වනලා ඒ කතාව අනුමත කරා.තාත්තා අකාලයේ ජීවිතයෙන් සමු ගත්තට පස්සේ සංකගේ අම්මා අක්කාවත් සංකවත් මල්ලිවත් රැකබලා ගත්තු හැටි තමාලි දන්නවා.ඒ නිසා ඒ අම්මාට සලකන්න මිසිස් සුරවීර මතක් කරන්න ඕනෑ නැහැ.ඒත් ඉතින් නැන්දම්මා ලේලි අර්බුද ගැන අහන්න දකින්න ආස මිසිස් සුරවීර ඔය වගේ කතා කීපාරක්නම් අහනවාද කියලා තමාලි දැන් ගැනලා බලන්නෙත් නැහැ.

“අපි ඉතිං එයා බලන්න යනවා.”

තමාලි එහෙම කියලා හිනා වෙලා ගෙට එන්න හදනකොටම මිසිස් සුරවීරගේ පුතා ගෙයින් එළියට ආවේ කොහෙදෝ යන්න හැඩවැඩ වෙලා.

“කොහෙද යන්නේ?”

අම්මාගේ ප්‍රශ්නේ පුතා නෑහුණු ගාණට පාරට බැහැල යන්න ගියා.මිසිස් සුරවීර මූණ හතරැස් කරගෙන තමාලිගේ දිහාවට හැරුණා.පුතා ඔය යන්නේ කෙල්ලෙක් එක්ක රස්තියාදුවක බව ඈ කියන්නේ පුදුම තරහකින්.මුහුණට අබ ඉස්සොත් පුපුරන ගාණයි.

“චානක මල්ලි දැන් ඉන්නේ ගෑනු ළමයෙක් යාලු කරගන්න වයසෙනෙ ආන්ටි.”

Bored Teenage Girl Being Told Off By Mother

එහෙම කිව්වට ඒ කතාව බාරගන්න සුරවීර නෝනා ලෑස්ති නෑ.ඇහැට කනට පේන කොල්ලො අල්ලා ගන්න කෙල්ලෝ ගැන දෙස්දෙවොල් දිදී ඉඳලා එයා යන්න ගියා.මහා හිසරදයක් ඉවර වුණා වගේ හැඟීමකින් තමාලි ගේ ඇතුළට ආවා.

“ඇත්තටම එපා වෙනවා සංක.ආන්ටි කටත් රවුම් කර කර ඕපදූප අහනකොට මට ගෙට පැනලා දොර වහගන්න හිතෙනව.”

තමාලිගේ කතාව අහන් ඉඳලා සංක මහ හයියෙන් හිනා වෙනවා.සංකත් ඒ කෝච්චියට අහු වෙන දවස් නැතුවා නෙවෙයි.ඒත් සංකට ඕවගෙ ගාණක් නෑ.

“ඔයා දැකලා තියනවද අපේ අම්මා හරි ඔයාලගෙ අම්මා හරි අනුන්ට උපදෙස් දෙනව ඔහොම..”

සංක අහන්නේ අමුතු කතාවක්.තමාලිගේ වරදක් ආදරෙන් පෙන්නලා දුන්නොත් මිසක එයාලා වටේපිටේ මිනිස්සු හදන්න යන බවක් තමාලිටනම් මතක නෑ.එයා ඔලුව වනන්නේ ඒ මතකය එක්ක.

“ඒක තමයි ඇත්ත.චාමර මල්ලිව මකලවත් හදන්න බෑ.ඔයා අපේ අම්මා එක්ක තරහද ඇහුවට සුරවීර ආන්ටිගේ දුව නැන්දම්මා එක්ක ජල්ලි අල්ලලා කීගමනක් නම් අඬාගෙන එනවා අපි දැකලා තියද?ඕවා එහෙම තමා.එයාට එයාගේ ළමයි හදන්න බැරි වුණා.අපේ හදන්න දෙයක් තියද බලනවා.”

සංක කියන්නේ සැහැල්ලුවෙන්.තමාලි සංකගේ කතාව අහගෙන හිතේ තිබ්බ බර බිමින් තිබ්බා.සුරවීර ආන්ටි ආයේ මොනවා කිව්වත් තරහ ගන්නේ නැහැ.ඔය හිතේ තියන මොකක්ම හරි ප්‍රශ්නයක් පිට කරන විදියනේ.මද්දහනේ රස්නේ මැකෙන්න සිසිල් බීම හදන අතරේ තමාලි දිගටම හිතන්න ගත්තා.

More Stories

Don't Miss


Latest Articles