(අ)හිමි සිහින -85

විවාහයක් තුළ සැමියා සහ බිරිඳ මානසිකව සහ කායිකව ඒකාත්මික නොවුණොත් ඒ පවුලට කිසිම හෙට දවසක් නැති බව අපි ඕනෑම කෙනෙකු දන්න කාරණාවක්.චමල් වගේම අසංක එක්ක විවාහයන් තුළ මට සිදු වුණේ ඒ දේවල්.ඒත් දෛවයේ අකාරුණික තීරණවල තරම කොහොමද කියනවානම් සුධාරකටත් ඒ ඉරණම ඒ හැටියට අත් විඳින්න සිදු වෙලා තිබුණා.ඔහුත් මගේ කතාවට සමාන කතාවක් ඒ අයුරින්ම ගෙවමින් සිටි බව ඔහු මට හෙළිදරව් කළා.

බිරිඳක් සතුවිය යුතු ගුණ ගැන බුදු දහමේ තියනවා ඔබත් අහලා ඇති.මිනිසෙකුට ලැබිය යුතු අන්දමේ බිරිඳක් වෙන්න හැම ගැහැනියකටම බැහැ.බණේ තියන කාරණා වර්තමාන ලෝකයට ඒ විදියටම සමපාත කරන්න නොහැකි වුණත් මම හිතනවා ගැහැනියක් තමන්ගේ සැමියාට උයලා කන්න දෙන්න පැකිලෙන්නේ හොඳ නැති බව,ඔහුගේ කායික සහ මානසික අවශ්‍යතා ඇය අතින් ඉටුවිය යුතු බව,ඔහුගේ ධනය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බව.මේ දේවල් ඒ අයුරින් නොවෙනවානම් කිසිම ගැහැනියකට හොඳ බිරිඳක් වෙන්න බෑ.දිල්හානි අතින් මේ කිසිවක්ම ඉටු නොවීමත් ඇය විවිධ කාරණාවලට අසීමිතව මුදල් නාස්ති කිරීමත් සුධාරකගේ ජීවිතය අපායක් බවට පත් කරන්න ඇති.

“දිල්හානි පුදුම විදියට මිථ්‍යා විශ්වාස පස්සෙ ගිය කෙනෙක්.”

සුධාරක මට එහෙම කිව්වා.මිථ්‍යා විශ්වාස කියන්නෙත් කෙනෙකුගේ ජීවිතය මිහිපිට අපායක් කරන බොහෝම හරසුන් දෙයකට.ෆේස්බුක් සමාජ ජාලය නිරන්තරයෙන් පාවිච්චි කරන කෙනෙක් හැටියට මට හොඳින් මතකයේ රැඳුණු වාක්‍ය දෙකක් තියනවා.

“ඔබ ගමනක් යන විට ඔබට කළු පූසෙකු මුණ ගැසුණොත් එහි අදහස ඒ පූසාත් ගමනක් යන බවයි.”

“ඔබ ගෙදරින් පිටත් වන්නට සැරසෙනවිට හූනෙකුගෙ ශබ්දයක් ඇසුණොත් එහි අදහස ඒ හූනා එහා බිත්තියේ සිටින තම පෙම්වතිය අමතන බවයි.”

මම මෙන්න මේ කතා දෙකට හරිම එකඟයි.අපි මිනිස්සු හැටියට පෙළෙන්නට කාරණා හොයා ගන්නේ බලහත්කාරයෙන්.මිථ්‍යා විශ්වාස ඒ අතරින් අංක එකට එක දෙයක්.හුනු සද්ද,කළු පූසන්ට බය වීමෙන් පටන් අරගෙන හදිහූනියම් සහ ගුරුකම් විශ්වාස කිරීම දක්වාම දිල්හානිත් ගිය බවත් ඒ හේතුවත් ධන හානියට මහා පරිමාණයෙන් හේතු වූ බවත් කියනකොට සුධාරකගේ මුහුණේ ඇඳුණු දුක් රේඛාවලින් ඔහු ගෙවූ ජීවිතය ගැන මට හොඳ අදහසක් ආවා.නමුත් මට ඔහු සනසනවා හැරෙන්නට කරන්න දෙයක් තිබුණේ නැහැ.

අනිත් කාරණාව මම සුධාරකගෙන් දිල්හානි ගැන ඇසූ බොහෝ කාරණා තිබෙනවා.ගැහැනියකට එතරම් කුරිරු වෙන්නට හැකිදැයි යන්න මට යළි යළිත් සිහිපත් කළ තැනැත්තියක් ඒ.නමුත් අසංක හා චමල් නිසා මම අත් විඳි කාරණා තරම් පහසුවෙන් ඒ කතා ලියන්නට මම කැමති නැහැ.චමල් සහ අසංක අතින් මානසික සහ ශාරීරික පීඩා වින්දේ මම.ඒ මගේ කතාව.නමුත් සුධාරක මට පවසන කතා සම්පූර්ණයෙන් සත්‍ය බව විශ්වාස වුණත් මට වෙනත් ගැහැනියක සම්බන්ධයෙන් චෝදනා ලෝකයක් හමුවේ ලියා තබන්නට සිතෙන්නේ නැහැ.

නමුත් මට මේ දේ ලියන්නටම හිතෙනවා.සුධාරක බොහෝ අවංක මිනිසෙක්.ඔහුට ආදරය දෙනවානම් ඔහු ඒ ආදරයට බොහෝම අවංක කෙනෙක්.එය ප්‍රේමවන්තියකට පමණක් පොදු වූ කාරණාවක් නෙවෙයි,මිතුරන්ට පවා ඔහු වෙස්සන්තර කෙනෙක්.ඉතාම ආදරයෙන් ඔහු මිතුරන්ටත් සැලකුවා.ඒ නිසාම මට මෙහෙම හිතෙනවා.

“දිල්හානි ඇත්තටම ආදරෙන් පිරුණු අපූරු ගෑනියෙක් වුණානම් සුධාරක මාව අමතක කරලාම දමාවි.ඒ ආදරණීය බිරිඳ එක්ක සන්තෝසෙන් ජීවත් වේවි.”

ආදරණීය සැමියෙකු නොවුණත් යුතුකම් අකුරටම ඉටු කළ සැමියෙකු වුණු සුධාරක ඔහුගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙකු වුණු බව මම දන්නවා.ඒ හැම දරුවාම ලංකාවෙ තිබෙන සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ඉහළ පහසුකම් යටතේ ඉපදුණු දරුවන්.ඔවුන් අධ්‍යාපනය ලැබුවේත් අගනුවර නම ගිය පාසල් කිහිපයකයි.මට හිතෙන්නේ බිරිඳකගේ ආදරය මොනතරමට නොලැබුණත් ඔහු පුලුවන් තරමට හොඳ පවුලක් ගොඩ නගා ගන්න උත්සාහ කරලා තිබුණා.ඒ නිසාම ඔහු ඒ හැම දෙයක්ම උපරිමයෙන් කරන්න ඇති.

වියළි කතරක දිය පොදක් හොයාගෙන යන ගමනක් වගේ තමයි ආදරයක් නැති පවුලක් තුළ ආදරය හෙවීම.දෛවය ආදරය නොකරන මිනිස්සු එකිනෙකාට මුණ ගස්වන කාරණාව මට තවමත් පැහැදිලි නෑ.

ඒත් ජීවිතේ කියන්නේ මේවගේ දේකට වෙන්නත් ඇති!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles