(අ)හිමි සිහින -86

මා ආදරය කළ සුධාරක ගැන ලියා තැබියම යුතු කතාවක් මට සිහිපත් වූයේ හදිසියේ.මේ කතාව කියවන ඔබ බහුතරයකට වඩා අපි දශකයක් දෙකක් පසු පරම්පරාවක්.වර්තමාන අම්මලා දරුවන් දෑහේ මූණේ තියාගෙන රැක්කත් අපේ කාලයේ සහ ඊට කලින් අම්මලාට එහෙම කරන්න හැකියාවක් තිබුණේ නැහැ.වර්තමානයේ අපි මහා ජීවන අරගලයකට මැදි වී ඉන්නා බව ඇත්තක් වුණත් ඒ කාලයේ අම්මලාගේ ජීවන අරගලය මීටත් වඩා වෙනස්.ඒ නිසාම ඔවුන් දරුවන්ව ගෙදරින් පිට කරන්න වැඩිය තාවර වුණු අය නෙවෙයි.

සුධාරකත් ඔහුගේ දුර ඥාති කෙනෙක්ගේ ගෙදරකට එන්නේ අන්න ඒ ආකාරයට.ඇය දරුවන් නැති කාන්තාවක්.සමහර වෙලාවට ඇය ඒ කාරණාව ඉස්සරහට දාලා සුධාරකව ඉල්ලා ගන්නත් ඇති.කොහොමහරි අවුරුදු අටක පුංචි කොල්ලෙක් කාලේ තමයි ඔහු ඒ ඥාති ගෙදරට එන්නේ.ඒ ලංකාවේ දුෂ්කර ගමක ගෙදරක්.සුධාරකට හොඳ මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගන්න ලැබෙන්නේ ඒ ගමන නිසා.ඒත් අර ලොකු අම්මා පොඩ්ඩක්වත් කාරුණික මනුස්සයෙක් වෙලා නැහැ.

සුධාරක කියන්නේ ළමා කාලයේ පටන්ම ආදරය අහිමි වූ දරුවෙක්ට!!!

සුධාරක කොහොමත් ඉතාම නිහඬ චරිතයක්.තමන්ට වෙන අසාධාරණයක්. ඉදිරිපිට පවා ඔහු නිශ්ශබ්ද වෙන මනුස්සයෙක්.ඉතින් පුංචි දරුවෙක් කාලයේත් ඒ ගතිගුණ වෙනසක් නොතිබෙන්න ඇති.ඒ ඥාති නිවසේ පවුලේ බොහෝ දරුවන් නැවතී ඉඳලා තියෙනවා.ඒත් හැම දරුවෙකුටම කරන්නට වැඩ ඕනෑතරම් තිබී තියෙනවා.

ඒ ඩිජිටල් යුගය නොවේ!!

ළමා මෙහෙකාර සේවය ගැන පැමිණිලි කරන්නට ඒ කාලයේ නීති තිබෙන්නට නැහැ.අනිත් කාරණාව සුධාරකට පාසල් යන්න ඉඩ ලැබුණා.හැම වෙලාවෙම දර පලන,ගේ අතු ගාන,කඩේ යන,මුළුතැන්ගෙයි ඉඳුල් භාජන අස් කරන පුංචි කොලුවාට ගෙදර සේවකයන් පවා අනුකම්පා කර තිබුණා.

“ඒ කාලේ මහත්තයා කෝට්ට වගේ.කන්න දෙන්නෙත් නෑ හරිම කෙට්ටුයි.අපි ඉතිං බත් එක අස්සෙ ගහලා මාළු කෑලි බිත්තර එහෙම දෙනව”

ගෙදර සේවය කළ අය පසුකාලීනව මුණ ගැහුණු මොහොතක මට එහෙම පැවසුවා.මට ඇත්තටම දැනුණේ මහා පුදුමාකාර දුකක්.

ඒ හින්දාම වෙන්නත් ඇති.ඔහු ලැබුණු දෙයක් කන මනුස්සයෙක්.කෑම වල රහ ගුණ හොයන්නේ නෑ.දිල්හානිගේ කෑමවල විතරක් නෙවෙයි රැකියාව කළ ස්ථානයේ සූපවේදියාගේ කෑම පවා ඔහු කොහොමහරි උගුරෙන් පහළට යවා ගත්තා.

“කොහොමද ඔයාලට එහෙදි ලැබෙන කෑම එහෙම.”

අපි නැවතත් හිතවත්කම ඇරඹු කාලයේ මම අහනවා.ඔහු හිනා වෙන්නේ සමහර ඒවාට මිරිස් සහ ලුණු ඕනෑවටත් වඩා අඩු බව කියමින්.

“එහෙම කන්න පුලුවන්ද අනේ මිනිස්සුන්ට.”

මගේ වෘත්තියේ ආචාර ධර්ම සිහි කරමින් මම අහනවා.මොනවා නැතත් උයන පිහින එක රහට ගුණට තියෙන්න එපැයි!

“අනේ ඕවානම් මොනවද මැණිකෙ.මට ඕවගෙ ගාණක් නෑ.”

ඔහු කුඩා කාලයේ ඕනෑම ජීවන රටාවක හැඩ ගැහෙන සේ ජීවත් වීම එයට හේතුව වෙන්න ඇති.ඒත් ඔහු බොහොම දක්ෂ ලෙස ඉගෙනීමේ යෙදී තිබුණා.ක්‍රීඩාවට සහ පාසලේ බාහිර ක්‍රියාකාරකම් රැසකටම නැතිව බැරි කෙනෙක් හැටියට සුධාරක විතානගේ කියන නම ඒ පාසලේ ලියැවී තිබුණාලු.

“මෙයාට ඒ කාලේ කෙල්ලො හිටියෙ නැද්ද අක්කේ?”

පසුකාලීනව ඔහුගේ පාසල් මිතුරියන් මුණ ගැහුණාම මම එහෙම අහන්නේ ඕනෑම පෙම්වතියක් බිරිඳක් තමන්ගේ ආදරවන්තයාගෙ මුල්ම පෙම්වතිය ගැන හාරාවුස්සා බලන්න දක්වන සහජ ආශාව ඉස්මතු කරමින්.

“අනේ මූට මොන කෙල්ලොද? අපි ඒ කාලේ විහිළුවක් කරත් පොල්ලක් උස්සන් එනවා අපිට ගහන්න..”

ඔවුන් හිනැහෙන්නේ එහෙම කියමින්.කාරණා කටයුතු කොහොම වුණත් ඔහු ඇත්තටම මගේ සංසාරගත ප්‍රේමවන්තයා වෙන්න ඇති.මම ඔහුගේ පළමු ප්‍රේමවන්තිය වෙන්න ඇත්තේ ඒ නිසා.මේ දේවල් අහගෙන ඉන්න මට එහෙම හිතෙන්න පටන් ගන්නවා.

මම ඔහුගේ පළමු ප්‍රේමවන්තිය විතරක්ම නෙවෙයි.මම හිතන්නේ ඒ කතාව කියන්නට හොඳම කාලය දැන් එළඹිලා.ඔබ වෙනදාටත් වඩා උනන්දුවෙන් මාව අහගෙන ඉඳීවි කියලා මට විශ්වාසයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...