(අ)හිමි සිහින -90

“මැණිකේ,මං උපන්දිනේ සමරන්නේ මගේ පවුල එක්ක.ඔයා තමයි මගේ පවුල.”

ඔහු එහෙම කියූ හැටි මගේ හිතින් කිසිදිනක මැකී යන්නේ නැහැ.ඔහු මා ගැන එතරම් ආදරයකින් බැලීම සහ මම ඔහුගේ සියල්ල කරගෙන හිඳීම ම මට සැනසීමට හේතුවක් වුණා.

ඔබට මතකද මම කුඩා කෙල්ලක කාලයේ ලැබූ වැලන්ටයින් තෑග්ග.එදා ඒ ත්‍යාගය ඔහු මට එව්වේ මහා විශාල වැටුපක් ලබමින් නෙවෙයි.ඔහු මට එවූ රතු රෝස මල් පොකුර අතටවත් අරගෙන බලන්නට නොහැකි වුණත් මට එහි සුවඳ තවමත් දැනෙනවා වගේ.ජීවිතේ අසීරුම කාලවල පවා නොසැලී ඉන්නට මට ධෛර්යය ලබා දෙන්නට ඇත්තේ ඒ වගේ දේවල් කියලා මට හිතෙනවා.

ඉතින් මට සුධාරකගේ උපන්දිනය ඉහළින් සමරන්නට ඕනෑ වුණා.කෙනෙකුට විසි එක්වැනි උපන්දිනය තරමට ම පනස්වැනි උපන්දිනයත් විශේෂයි කියලා මම හිතනවා.දශක පහක් ජීවත් වීම කියන්නේ සුවිශේෂ කාරණාවකට.මගේ ආදරය එතරම් කාලයක් සුවෙන් ජීවත් වීම මට මහත් සතුටක්.ඔහු මරණය අත තබා යුධ බිමේ සටන් වැදුණු කෙනෙක්.නමුත් ඔහු තවමත් තරුණ ජවයකින් ජීවත් වෙනවා.මට එය මහත් සැනසීමක්.

මම බොහොම නොඉවසිල්ලෙන් ඔහුගේ උපන්දිනයට සැරසුණා.අපිට දින දෙකක් නැවතෙන්නට තැනක් වෙන් කරගන්නට මම කටයුතු කළා.තරු පන්තියේ හෝටලයක් ඒ සඳහා වෙන් කරගන්නට තරම් මම දැන් උපයන්නියක් වුණත් මම එය කළේ නැහැ.එයට හේතුවක් තිබුණා.

“මට මගේ අතින්ම ඔහුට කෑම සකසන්නට උවමනා වුණා.”

මම නම ගිය සූපවේදිනියක වුණත් ඔහු මගේ අතින් පිසුණු ආහාර අනුභව කර නැහැ.ඒ නිසාම මට එය කරන්නටම උවමනා වුණා.ඒ නිසා මම සුඛෝපභෝගී අපාට්මන්ට් එකක් අපේ සාදයට වෙන් කරගත්තා.

මම මේ සියල්ලම කළ යුතු වන්නේ ගෙදරට රහසින්.මගේ රැකියාව අනුව නිවසින් පිටත ගමන් යෙදෙන නිසා එය අසීරු කාරණාවක් නෙවෙයි.

“ලබන බදාදා මම කොළඹින් පිට වැඩකට යනවා.”

මම චමල්ට එසේ දැන්වූවා.දියණිය රැකබලා ගන්නට අම්මාට පවරා ඇයටත් ඒ කතාවම කිව්වා.චමල්ට ඕවා ගැන වගක් නෑ.මම හිටියත් නැතත් ඔහුගේ සාදමය ජීවිතය තිබේනම් ඔහුට ජීවත් වෙන්න එය හොඳටම ප්‍රමාණවත්.

නියමිත දවසේ ගෙදරින් පිටවුණු මම එහෙමෙහෙ ඇවිදිමින් සුධාරකට තෑගි තෝරමින් මම උපන්දිනය සමරන අන්දම සැලසුම් කළා.ඉන්පසු ඔහුට ආහාර පිසින්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම මිලට ගත්තා.උපන් දින කේක් එක මම ඇණවුම් කරලා තිබුණත් සැරසිලි ආදිය මගේ අතින්ම කරන්නට මට ඕනෑ වුණා.මම ඒ සියල්ලම එක්‍ රැස් කරේ මහා සෙනෙහසකින්.

අපට ආදරය කරන මිනිසුන්ට ආදරය කරද්දී සීමා තබා ගන්නට එපා.කුඩා හේතූන් පවා මහා ඉහළින් හැකි උපරිමයෙන් සමරන්න.සුධාරකගේ උපන්දිනය සැමරීම මට සදාකාලික සැනසුමක් ඉතිරි කළ කාරණාවක් වූ අන්දම මම ඉදිරියේ දී කියන්නම්.

ඒත්, වයස්ගත වූ පමණින් ආදරය කරන මිනිසාට ආදරය කිරීම අඩු කරන්නට එපා.ආදරය කිරීමට සීමා පනවා ගන්නට එපා.ඔබත් ඔහුත් මුලින්ම හමු වූ දිනය,මුල්ම හාදුව,ප්‍රේම සහ විවාහ සංවත්සරයන්,ඔහුගේ උපන්දිනය මේ සියල්ල මතක තබා ගත්තාට සහ ඒවා සමරන්නට කටයුතු කළාට එය කිසිසේත්ම බොළඳ වැඩක් වෙන්නේ නැහැ.ආදරය පරණ වෙන්නෙ නැහැ.එය අලුත් කර ගැනීම ඔබට කළ හැකි දෙයක්.ආදරය වියළී යන්නට ඉඩ තැබීම අප අපට කරගන්නා අසාධාරණයක්.

මගේ කාරය එනතුරු මඟ බලා සිටින සුධාරක දකිද්දී මට තවත් සුන්දර කාරණයක් සිහිපත් වුණා.මීට වසර ගණනකට පෙර අත්සනකට සීමා වූ විවාහයක් නීතියෙන් ඉරා දැමූ අපිට මධුසමයක් තිබී නැහැ.අපි මේ යන්නේ අපේ මධුසමයට! අවුරුදු විසි ගණන් වල තරුණ යුවලක් කාලයේ ගෙවා දැමීමට නොහැකි වූ සුන්දර දිනයක් පරිණත මිනිසුන් ලෙස ගත කරන්නට අප සූදානම්.

ආදරයට වයස් සීමාවන් කොයින්ද!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles