දරුවන්ට ගෙදරදීම පුරුදු කළ යුතු ජීවන කුසලතා 10ක්

හැම දෙමව්පියන් ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් ලෝකයේ විශිෂ්ටයින් බවට පත්කරන්නයි. ඒත් බොහෝ අය පැහැදිලි කරගන්නට අපොහොසත් වන කාරණය තමයි, දරුවන්ගේ හැකියාවන් විවිධ බව සහ එකිනෙකාට වෙනස් බව. ඒ වගේම ඒවා දරුවන්ගේ ජීවිතවලට තීරණාත්මක බලපෑමක් ඇතිකරන බව. ඔබේ දරුවා පාසලේ උගන්වන හැම දෙයක් ම ඉගෙන ගතයුතුයි කියා ඔබත් හිතනවා ද? එය එසේ වන්නේ නැහැ.

දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීම සහ විවිධ විෂය කරුණු සම්බන්ධව දැනුවත් කිරීම පාසලකින් සිදුවිය යුතු බව ඇත්තයි. ඒත් ඔබේ දරුවාට නිවසේ දීම ඇතිකරවිය යුතු අත්‍යවශ්‍ය ජීවන කුසලතා තිබෙන බව අමතක කරන්න එපා. දරුවන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම වැදගත්වන ජීවන කුසලතා ඉගැන්වීම ඔබේ අනිවාර්ය වගකීමක් බව ඔබ දන්නවා ද?

දරුවාට ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට අත්‍යවශ්‍ය වන ඔබ විසින් දරුවන් වෙත ප්‍රගුණ කරවිය යුතු  අනිවාර්ය ජීවන කුසලතා 10ක් අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම්.

උයන්න උගන්වන්න

ගැහැනු දරුවන්ට වගේ ම පිරිම දරුවන්ටත් උයන්නට හුරුකරවන්න. ආහාර පිළියෙළකිරීමේ කටයුතුවල වගකීම සහ එම අත්දැකීම කුඩාකල සිට ම දරුවන් සමඟ බෙදාහදාගන්න. එය කරදරකාරී වෙහෙසකර එසේත් නැත්නම් කටුක අමිහිරි අත්දැකීමක් නොව ප්‍රියජනක පහසු කටයුත්තක් බව දරුවන්ට අවබෝධ කරවන්න. ඔබට එය මඟහැරෙන මොහොතක හෝ අපහසුවන මොහොතක දරුවන්ට එය තනිව කරගත හැකිවීම ඔවුන් ලබාගන්නා සුවිශේෂ ජීවන හැකියාවක් වන බව නොඅනුමානයි.

දුෂ්කර අවස්ථාවන්ට අනුගතවන්න කියා දෙන්න

ජීවිතයේ සියල්ල සැම දා පහසුවෙන් සහ සරලව ඉටු කරගත නොහැකි බව දරුවා කුඩා කල සිට දැන සිටීම අතිශයින් ප්‍රයෝජනවත්. නිවසෙන් බැහැර Adventure trip මේ සඳහා  කදිම විසඳුමක්. දුෂ්කර සහ අභියෝගකාරී තත්වයන් හමුවේ නොසැලී කටයුතු කරන්නටත් අපහසු, අසීරු අවස්ථාවල දී ජීවිතය දෙස සුබවාදීව බලන්නටත් දරුවන්ට විශේෂ හැකියාවක් ඇති කළ යුතුයි. සියලු අවස්ථාවල දී දරුවන් ඉල්ලා සිටින සියල්ල ලබා දෙන්න එපා. දෙමව්පියන් වශයෙන් පවුලේ ආර්ථික තත්වයන් හමුවේ ඔබට ලබාදිය හැකි සීමාකාරී අවස්ථාවන් සහ ඉඩප්‍රස්ථා ගැන දරුවන්ට අවබෝධ කරවන්න.

සොබාදහමට ආදරය කරන්න කියාදෙන්න

ස්වභාව ධර්මයට ගරුකරන්නට, ආදරය කරන්නට  දරුවන්ට කියාදීම අතිශයින් වැදගත්. මේ කටයුත්ත ගෙවත්තෙන් ම පටන්ගන්න. විවිධ ශාක, මල් පැල, ඒවා වවන ආකාරය, ඒවාට සාත්තු කරන ආකාරය, ජලය, පස, පොහොර ආදිය ඒවා සමඟ බැඳී ඇති ආකාරය ගැන දරුවාට අවබෝධ කරගන්නට හැකිතාක් අවස්ථා සලසන්න. දරුවා සමඟම පැළයක් වවන්නට පටන් ගන්නට හැකිනම් දරුවාත් පැළයත් එකට වැඩෙන හැටි ඔබට ම පෙනී යාවි. එය දරුවාටත් අපූරු අත්දැකීමක් වේවි.

ප්‍රථමාධාර ගැන දැනුවත් කරන්න

නිතර නිතර කරන සෙල්ලම් අතරතුර දරුවන්‍ට විය හැකි අනතුරු සුලබයි. සුළු තුවාල, රිදීම්, වැටීම්, තැලීම්, සීරීම්, ආදියට තමා හෝ වෙනත් අයෙක් මුහුණ දෙන අවස්ථාවල දී නිවැරදිව කටයුතු කළ යුතු ආකාරය ගැන දරුවන්ට අවබෝධයක් ලබාදෙන්න. හදිසි අනතුරුවලින් වැළකී සිටින අයුරුත්, අනිත් අය වළක්වා ගන්නා ආකාරයත් දරුවන්ට උගන්වා ඇතිවිට ඔවුන් ඔවුන් විසින්ම ප්‍රවේසම් සහ පරීක්ෂාකාරීව කටයුතු කරාවි.

පීනන්න උගන්වන්න

සමහර දරුවන් ස්වභාවයෙන් ම ජලයට බිය ස්වරූපයක් පෙන්නුම් කළත් සමහර දරුවන් ජලයේ ක්‍රීඩා කරන්නට අතිශයින් ප්‍රිය කරනවා. හදිසි අවස්ථාවක දී හෝ ආපදා තත්වයක දී ජලය දරුවාගේ ජීවිතයට තර්ජනයක් නොවීමට නම් පීනන්නට හුරු කරවීම අතිශයින් ම වැදගත්. එමෙන් ම පිහිනුම් කුසලතා හරහා දරුවාගේ මානසික හා ශාරීරික නිරෝගීතාව වැඩිදියුණු කරන්නටත් හැකියාව ලැබෙනවා.

මුදල් කළමනාකරණය

මෙය ඔබේ දරුවන්ට ලබාදිය යුතු වැදගත්ම කුසලතාවක්. මුදල්වල වටිනාකම, මුදල් ඉතිරි කිරීමේ වටිනාකම, අනාගතයට එයින් ලැබෙන ප්‍රයෝජන ගැන දරුවන්ට කියාදෙන්න. නාස්තිය වළකන්නටත්, අනාගතය වෙනුවෙන් හොඳින් සූදානම් වන්නටත් එයින් ඔවුන්ට හොඳ පන්නරයක් ලැබෙනු නිසැකයි.

රෙදි ටික සෝදාගන්න හුරුකරවන්න

දරුවාගේ මුල් අවධියේ සිටම රෙදි සෝදාගැනීම, පිරිසිදුකම පවත්වාගැනීම, පිළිවෙළට කටයුතු කිරීම වැදගත්වන බව සහ එහි වටිනාකම අවබෝධ කරදෙන්න. ඒ වෙනුවෙන් සැලකිලිමත් වන දරුවන් වැඩිහිටියන් බවට පත්වූ විටත් එම කුසලතා අපූර්වත්වයෙන් පවත්වාගෙන යන බව නිසැකයි.

ගෘහ උපකරණ ගැන දැනුවත් කරන්න

රූපවාහිනිය, දුරකථනය, ශීතකරණය, රෙදි සෝදන මැෂිම ආදියෙහි ක්‍රියාකාරීත්වය ගැන සොයාබලන්නට දරුවන් අතිශයින් උද්යෝගිමත්. ප්‍රවේසමින් බල්බයක් මාරු කරන හැටි දරුවාට කියා දෙන්න. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නිවැරදිව ස්විච් ඔන් කරන ආකාරය සහ එහිදී අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන දරුවන්ට කියාදෙන්න.

ආරක්ෂක කුසලතා ලබාදෙන්න

කිසිම කෙනෙකුට ජීවිතයේ අත්විඳින්නට සිදුවන අත්දැකීම් සියල්ල ම මිහිරි වන්නේ නැහැ. අමිහිරි සහ අප්‍රසන්න අත්දැකීම්, ත්‍රාසජනක, භයානක, ශෝකජනක අත්දැකීම් හමුවේ තම ආත්මවිශ්වාසය ගොඩනඟාගන්නා හැටි දරුවන්ට කියාදීම දෙමව්පියන්ගේ වගකීමක්. ඕනෑම අනාරක්ෂිත වටපිටාවක් තුළ තමන්ගේ ප්‍රවේශම තහවුරු කරගන්නට දරුවන්ට උගන්වන්න. ආත්මාරක්ෂක සටන්ක්‍රම, මානසික ශක්තිය ගොඩනඟාගැනී‍මේ වැඩසටහන් හරහා මේ කුසලතාව දරුවන්ට ලබාදිය හැකිවේවි.

 කාල කළමනාකරණය කියාදෙන්න

දරුවාට කුඩා කාලයේ සිට ම කාලය කලමනාකරණය කරගන්නට උගන්වන්න. උදව්වකින් තොරව ඇඳුම් ඇඳගන්නට, හොඳ පූර්ව සූදානමකින් යුතුව පාසලට යන්නට, නිශ්චිත කාලයක් තුළ තමන්ට පැවරෙන වැඩකටයුතු අවසන් කරන්නට දරුවා හුරුකරවූ විට ඔහුගේ අනාගතය ශක්තිමත් කරගැනීම කිසිසේත් අපහසුවන්නේ නැහැ.

 -නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles