ඔබේ දියණියට ලබාදිය යුතුම නවතම එන්නත පිළිබඳව ඔබ දැනුවත්ද?

මෙම මස සිට නවතම එන්නතක් කුඩා දියණියන්ට ලබා දෙන බව ඔබ දන්නවාද? ඔබත් කුඩා දියණියකගේ මවක් නම් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව දැනුවත විය යුතුයි.

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින්  දිවයිනේ සියලු පාසල්වල ඉගෙනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම ජූලි 03 සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පසුගිය සතියේ ප්‍රකාශ කරන ලදී. මෙය 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සඳහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙස හඳුන්වාදීමට නියමිතය. මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.

මේඅනුව ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන එච්.පී.වී එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට එක්වේ. සෑම වසරකම ශ්‍රී ලංකාවේ මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වනවා. ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ ක්‍රමවේදයක් වන පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සුවනාරි සායන මඟින් අවුරුදූ 35 ඉක්ම වූ කාන්තාවන් සඳහා සිදූ කර ගැනීමට පහසුකම් සපයා ඇත.

පාසලේදී මෙම එන්නත ලබා දීමට ප්‍රථමව ඔබේ කුඩා දියණයට මෙහි ඇති වටිනාකම පිළිබඳව වටහා දෙන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles