(අ)හිමි සිහින – 97

ඒ පණිවිඩය බලලා තිබුනේ වෙන කවුරුත් නෙවෙයි!! සුධාරකගේ බිරිඳ දිල්හානි. ඇය ඒ පණිවිඩය කියවා තිබුණා.අනුරාධා කියන්නේ සුධාරකගේ පළමු බිරිඳ බව වගේම ඔහු මට බොහොම ආදරය කරන බව ඇය දන්නවා.ඉතින් ඇය කොහොමට කලබල වෙන්න ඇතිද?

සැමියාගේ වෙනත් සම්බන්ධයක් අතටම අහු වුණොත් ඔබ මොකද කරන්නේ?

ඔය ප්‍රශ්නයට දෙන්න තියන සාමන්‍ය පිළිතුරු දෙකක් ඔබට ඇති.එකක් ඒ ගැහැණිය සොයා ගිහින් ඇය සමඟ කතා කරනවා.ඔබ වෙන් වෙන්න කැමති බව හෝ අකමැති බව හෝ පවසා ඉදිරියට කළ යුතු දේ ඇය සමඟ සන්සුන්ව කතා කරනවා.දෙවැන්න ඊට වෙනස්. ඒ කාන්තාව හොයාගෙන ගිහින් හොඳ දෙකක් කියා හොඳ පාරවල් දෙක තුනක් දීම වුණත් කරන්නට ඒ වගේ අවස්ථා වල කාන්තාවන් පසුබට වෙන්නේ නැහැ.

දිල්හානි ඔය කාරණා දෙකෙන් මොකක් කළත් ඇත්තටම මගේ තරහක් නැහැ.ඇය නීතියෙන් සුධාරකගේ බිරිඳ.ඇයට ඔය ක්‍රම දෙකෙන් ඕනෑම ආකාරයකට මට සලකන්නට අයිතියක් තිබුණා.ඒත් ඇය මේ කිසිවක්ම නොකළ බව කීවොත් ඔබ පිළි ගන්නවාද?

දිල්හානි කළේ මෙලෝ සිහියක් නැතුව මට මිස්ඩ් කෝල්ස් එවීම.එච්චරයි!!

සුධාරක පුහුණුවට විදේශගත වූ පසු ඔහුගේ දුරකථනය කාර්යබහුල වූ සෑම අවස්ථාවක ම ඔහු ඒ අමතන වෙනත් ඇමතුම මගේ බව සිතමින් ඇය මට දුරකථන මඟ හැරුණු ඇමතුම් ලබා දෙන්නට පටන් ගත්තා.ඇත්තටම ඇගේ මේ හැසිරීම මට දැනුණේ හාස්‍යජනක ආකාරයකට.

වැරැද්ද කරන්නේ අනුරාධා නම් ඇයි දිල්හානිට එයාට කෙලින්ම කතා කරන්න බැරි වුණේ?

ඔබට එහෙම හිතෙනවා ඇති.දිල්හානි ඒවාට කළේ ඇයටම ආවේනික වූ දේවල්.ඇය දැඩි ලෙස මිත්‍යා මත විශ්වාස කළ ගැහැනියක්.ඇය යන්තර,මන්තර ගුරුකම් සහ හූනියම් ගැන තරයේ විශ්වාස කරමින් ඒවා පසුපස යමින් මුදල් විනාශ කරගත් ගැහැනියක්.ඒ නිසා මේ කතාවටත් ඒ ක්‍රමයම අත්හදා බලන්න ඇය හිතුවා කියලා අපිට පසුකාලීනව දැන ගන්න ලැබුණා.

ඇය කොළඹට කිලෝමීටර සිය ගණනක් දුර ඇති සුධාරකගේ සේවා ස්ථානයෙන් හිටි හැටියේ ඔහුගේ පහළ නිලධාරියෙකු ගෙන්වා ගන්නේ හදිසි පණිවිඩයක් බව කියමින්.ඉන්පසු යෝගට් කෝප්පයක තරම් බඳුනකට කුඩා මස් කැබැල්ලක් දමා එය අනිවාර්යෙන් සුධාරකට කන්නට දෙන්නැයි කියා යවන්න වග බලා ගත්තා.

ඒ කාලයේ ඒ සේවක මණ්ඩලයම මා සමඟ බොහොම හිතවත්.

“මැඩම්.මාර වැඩක්නේ.දිල්හානි මැඩම් මෙහෙම මස් කෑල්ලක් එව්ව.”

ඔහු එහෙම කියනකොට මට කරන්න තිබුණේ එකම දෙයක්.මිථ්‍යාව ගැන විශ්වාසයක් නොතිබ්බත් මම මේ වෙලාවේ ඒවා බැහැර නොකරන්න හිතුවා.

“ඕක මොකක්හරි හුනියමක් නම් අපි ඒක විනාශ වෙන්න ඉඩ අරිමු.ඕක පබ්ලික් ටොයිලට් එකක් පැත්තට විසි කරගෙන යන්න.”

හුනියමක් කියන්නේ යම් අපිරිසිදු දෙයක්.අපිරිසුදු දේවල් ඊටත් වඩා අපිරිසිදු දෙයකින් විනාශ විය යුතු බව මම අසා තිබුණා.ඒ නිසා එහෙම කරන්නට මම තීරණයක් ගත්තා.නමුත් දිල්හානිගේ කටයුතු නතර වුණේ නැහැ.ඇය සුධාරකට යන්ත්‍රයක් තනවා පළඳවා තිබුණා.නැවතත් දන්නා තරමට මිත්‍යාව අත්හදා බලන්නට මම තීරණය කළා.

ඇත්තටම දේ දේවල් දැන් සිහිපත් වෙනකොට මට සිනාවක් නැඟෙන තරම්.මම කළේ සුධාරකගේ සේවා ස්ථානයට ගොස් වල ඌරෙකුගෙ මස් සොයා ගැනීමයි.ඉන්පසු බොහොම වෙහෙසෙමින් ඌරු තෙල් හිඳින්නට මම වග බලා ගත්තා.ඊට පස්සේ අර යන්ත්‍රයේ ඇතුලත තිබූ දේවල් ඉවත් කර සුධාරකට එය පළඳවන්නට මම කටයුතු කළා.

මිනිස්සු මිත්‍යාවන් පස්සේ යනකොට ගනුදෙනු කරන්න අතිශය අපහසුයි.නමුත් ඒ දේවල් වලට ඒ ඒ විදියට ප්‍රතිචාර දැක්වීමත් අසාර්ථකම නැහැ.සුධාරකට කිසිම හානියක් කරන්නට දිල්හානිට නොහැකි වෙන්නට ඇත්තේ ඒ නිසාම වෙන්නත් ඇති.

මේ දේවල් කොහොම වුනත් සුධාරක ගැන මගේ තිබුණු ආදරය බිඳුවකින් හෝ අඩු වුණේ නැහැ.මට ඒ ආදරය නොනැසී පවත්වා ගන්නට මේ හැම සිදුවීමක්ම හේතු වුණා.

අපේ ආදරය මොනතරම් සුන්දර සහ බොළඳ වුණාද කියලා මම ඔබත් එක්ක බෙදාගන්නේ හරිම කැමැත්තෙන්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles