(අ)හිමි සිහින – 98

සුධාරකගේ රැකියාව අනුව ඔහුට විවාහයට එපිටින් වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්න බෑ.එය ඔහුට විනය පරීක්ෂණ පැවැත්වෙන සහ විවිධ කම්කටොළු ඇති කරන දෙයක්.මේ බව දන්නා නිසාම දිල්හානි දිගින්දිගටම අපේ සම්බන්ධය ගැන පෙත්සම් යවන්නට ක්‍රියාකර තිබුණා.ඇයට ද නොයෙකුත් සම්බන්ධතා පැවතීම නිසාම ඇය මේ ගැන කෙලින්ම සුධාරක සමඟ කතා කරන්නට පැකිලෙන්නට ඇති.ඇත්තටම ඇය ඉතා අසරණ සහ සර්ව සාධාරණ ගැහැනියක වූවානම් ඇයට මගේ කෙස් වල්ලෙන් ඇද හොඳ පාරවල් දෙකක් දී දික්කසාදයකට යන්නට තිබුණා.නමුත් ඇගේ කිල්ලෝටයේ ද හුණු බහුල නිසාම ඇයට කළ හැකි වූයේ එවැනි රහස් උපාය මාර්ග පමණයි.

දිල්හානිගේ වෙනත් සබඳතා ගැන ලියන්නට මට හැකි වුණත් මම එය නොකරන්නට සිතන්නේ ඇයට එවැනි දේ කරන්නට ඇත්තටම හේතු වූ කාරණා මම නොදන්නා නිසා.ඇගේ පාර්ශවයේ කතාවක් එසේ ලියන්නට මට සිතක් නෑ.ඔබ බනින්නේ හෝ දොස් කියන්නේ මට වීම කිසිම ගැටලුවක් නැහැ.මගේ කතාව ඕනෑතරම් ඔබ අතින් විනිශ්චයට ලක් වූවාට කමක් නැහැ.නමුත් දිල්හානිව එසේ විනිශ්චයට ලක්වනවාට මගේ කැමැත්තක් නෑ.

“මැණිකේ ඔයා මගේ හොර ගෑනි වෙන්නේ නෑ කොයිම වෙලාවකවත්.ඔයා තමයි මගේ නෝනා.”

සුධාරක මෙහෙම කියන්න නිතරම වග බලා ගත්තා.මට ලැබිය යුතු ගෞරවය පවා ලබා දුන්නා.සමහරවෙලාවට ඔහුට වැඩ අධික වෙලාවට මම කෑම එකකුත් අරගෙන ඔහු බලන්නට යනවා.සුධාරකට උයාගෙන ගිය බත් පත අනලා කවන්නට පවා මට සිදු වෙනවා.

“ඔයාලගෙ නෝනලා මෙහෙම නෑනෙ.මේ බලන්න අපේ නෝනගෙ තියන ආදරේ.වයසට ගියත් අපි ආදරෙන්..”

අලුත විවාපත් වූ සහ තවම පෙම්වතියන් සිටින ඔහුගේ සෙබලුන්ට සුධාරක එහෙම කියන්නේ බොහොම සැහැල්ලු ස්වරයකින්.ඔහු එතරම් ආදරයකින් මට සැලකුවා.ඔහු සමඟ මම මිතුරන්ගේ සහ ඔහුගේ පහළ නිලධාරීන්ගේ උත්සව සහ විවාහ උත්සව වලට ඔහු මාව රැගෙන ගියා.

අපේ විවාහය රැකුණා නම් මොනතරම් ආදරයකින් ඉන්නට තිබුණා ද?

මට නිතර දෙවේලෙහි එහෙම හිතෙන්නට පටන් ගත්තා.ආදරය සහ රැකවරණය නිරන්තරයෙන්ම ලැබෙනකොට මට මම ආයේ ජීවත් වෙන බව වැටහී ගිය තරමක්.

එහෙත් හැම දෙයක්ම සදාකාලික නැහැ.මගේ සහ සුධාරකගේ සම්බන්ධය මොනයම් මොහොතක හෝ චමල්ට අසු වෙන බව මම නොදැන හිටියාත් නෙවෙයි.නමුත් එහෙම වූ දවසක ඒ ගැන කතාබහ කර තීරණයක් ගන්නට මම හිතාගෙන හිටියා.

ඒ දේ මම හිතපු තරමට සාර්ථක වුණේ නෑ.සුධාරක ගැන චමල්ට පවසන්නට ඇත්තේ දිල්හානි බවටත් සැක හිතෙමින් අපි අතර ගැටුම ආරම්භ වුණා.අපි අතර වාග් සංග්‍රාමය අවසන් බව සිතමින් මම නිවස තුළට යන්නට ගියා.

නොසිතූ මොහොතක මම බරපතල අනතුරකට ලක් වුණේ ඒ මොහොතේ.ගෘහස්ථ හිංසනයේ ප්‍රබලතම ගොදුරක් වන්නට මට ඒ මොහොතේ සිදු වුණා.එය ඇඟ හිරිවැටෙන තරමේ සිදුවීමක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles