මංගල සාරියක් තෝරා ගැනීමේදී ඔබ දැනගත යුතුම දේවල්

0
1650

ඔබේ මංගල දිනයේ සුන්දරම මනාලියක ලෙස හැඩවීමට නම් ඒ සඳහා වන පූර්ව සූදානම වඩාත් වැදගත්. මනාලියකගේ ඇඳුම් තෝරා ගැනීම, ඇඳුම්වල වර්ණ, ඇඳුම් නිර්මාණය වන ආකාරය, හැඩවෙන ආකාරය, ආබරණ, මල් කළඹ ආදී සියල්ල පිළිවෙලට තිබේ නම් මනාලියද කිසිදු ආයාසයකින් තොරව ඉතාමත් සුන්දර මනාලියක් වේවි. ලාකීක මංගල ඇඳුම් අතර මංගල සාරියට හිමි වනුයේ ප්‍රමුඛතම තැනක්. මංගල සාරියක් තෝරා ගැනීමේදී මනාලියක් මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්..

තම සිරුරේ ස්වභාවයට අනුව මංගල සාරිය තෝරා ගැනීම ඉතා වැදගත්. මන්ද එයින් ඔබේ සිරුරේ සුන්දරත්වය මතු කරලීමට එය ඉවහල් වන හෙයිනි. ඔබ පිරිපුන් සිරුරකින් යුතු අයකු නම් ඔබට වඩාත් උචිත වන්නේ සිරුරට හොඳින් ඇලී තිබෙන ආකාරයේ සාරි වර්ගයකි. ලේසර්, ජෝජට් වැනි සාරි වඩාත් සුදුසුයි. සිහින් සිරුරක් ඇති මනාලියක් නම් ඇයට වඩාත් සුදුසුවන්නේ ඕගන්දි, ඩූම්, ලේස් වැනි තරමක් පිම්බෙන ස්වභාවයෙන් යුත් සාරි වර්ගයි. පිරිපුන් සිරුරකින් යුතු මනාලියකට වඩාත් ලොකු බෝඩර සහිත සාරි තෝරා නොගැනීම වඩාත් උචිතවේ. ඇයට චාම් මෝස්තර සහ විලාසිතාවන්ගෙන් යුතු සාරි වඩාත් ගැළපෙයි. සිහින් සිරුරක් ඇති අයකුට නම් විසුරුණු ආකාරයේ බෝඩර සහිත සාරි තේරා ගැනීමට හැකියි

තෝරා ගන්නා සාරි වර්ගය මෙන්ම මනාලියට සාරි ගැනීමේදී සාරි වර්ණය ගැන සැලකිලිමත් වීමද වඩාත් වැදගත් වෙයි. තෝරා ගන්නා සාරියේ වර්ණය මනාලියගේ පැහැයට අනුව නොගැළපෙන එකක් වුවොත් එය ඇයගේ සුන්දරත්වයට බාධාවකි. ඇතැම් වර්ණ මනාලියට එළියක් ගෙන දෙන අතර සමහර වර්ණයන් ඇයට අඳුරු පෙනුමක් මතු කර දක්වයි. පැහැපත් අයෙකුට සාමාන්‍යයෙන් ඕනෑම වර්ණයක් ගැළපුනත් පැහැයෙන් අඩු කෙනකුට සෑම පැහැයක්ම ගලපා ගැනීම අසීරු විය හැකිය. මනාලිය පැහැයෙන් අඩු නම් ඇයට ඩල් ගෝල්ඩ්, අයිවරි, ක්‍රීම් පැහැය සහ බිස්කට් වර්ණ වැනි පැහැයන් ගැළපෙයි. නැතිනම් පාටවල් කිහිපයක් කැමති ලෙස ගලපා ගත හැකියි. සාරිය තෝරා ගන්නා විට එය තම සිරුරට දමා එම වර්ණය තමන්ට එළියක් ගෙන දෙයිද යන්න ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න.

සාරියේ නිමාව මෙන්ම එයට අල්ලා ඇති විසිතුරු ගල්, පබළු ආදිය පිළිබඳවත් සැලකිලිමත් වීම අනිවාර්යයි. තැන් තැන් වල ගල් වැටී තිබීමෙන්, නූල් ඇදීමෙන් එකතු වනුයේ අවලස්සනකි. ඒ වගේම කෙතරම් අලංකාර වූවත් සාරියේ මිල ඔබේ පසුම්බියට දරාගත හැකි දැයි යන්න ගැන සැලකිලිමත් වන්න.

මනාලිය විලාසිතා අනුගමනයට කෙතරම් කැමැත්තක් දැක්වුවත් ඇගේ පෙනුමට රුවට ගැළපෙන දේ පමණක් තෝරාගත යුතු අතරම, අනවශ්‍ය ලෙස විලාසිතාවන් කිරීම තුලින් මනාලියගේ සුන්දරත්වය ගිලිහී යා හැක. සාරිය කෙතරම් වටිනා එකක් වුවත් එය ඔබේ සිරුරට සරිලන එකක් නොවේ නම් තෝරා ගැනීමෙන් වළකින්න. ඔබට සුදුසු ආකාරයෙන් මංගල සාරිය තෝරා ගැනීමට තරම් දැනුවත් බවක් ඔබ තුළ නොවේ නම් වඩාත් සුදුසුවන්නේ රූපලාවන්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ සහය එයට ලබාගැනීමයි. නමුත් ඔබ නිසි පරිදි දැනුමින් සන්නද්ධ නම් අමතර වියදමකින් තොරව ඔබට ගැලපෙන සුන්දරම මංගල සාරියක් පහසුවෙන් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා.

– කල්හාරී –