(අ)හිමි සිහින -101

මම ඒ අනතුර සම්බන්ධයෙන් වරද චමල්ට පැවරුවා නම් ඔහුට හිරබත් කන්නට සිදු වෙනවා.මම විශාල තුවාලයක් සහිතව රෝහලට ගියත් ඔහු ගැන වචනයක්වත් නොකියා ඉන්නට තීරණය කළේ මගේ හෘද සාක්ෂිය නිසා බව මම ඊයේ පැවසුවා ඔබට මතක ඇති.ජීවිතය කියන්නේ සංසාරික ගනුදෙනුවකටයි.
චමල් සමඟ වැඩිවැඩියෙන් අමනාප වී ඔහු ජන්මාන්තර වෛරක්කාරයෙකු කරගන්නට මට ඕනෑ වූයේ නෑ.ඔහු මගේ දියණියගේ තාත්තා.ඇයට ඔහුව සදහටම ඕනෑ බව මම දැන සිටියා.ඒ නිසා දියණියකගේ මව සහ පියා යන නෑදෑකමවත් අපි අතර ඉතුරු කරගන්නට මට ඕනෑ වුණා.

ඒත් ඔහු මාත් සුධාරකත් අතර සම්බන්ධතාවය දැනගත් පසු එය රහසේ පවත්වාගෙන යන්නට මට ඕනෑ වුණේ නෑ.එය ඉතාම ප්‍රසිද්ධ රහසක් වෙන්න පටන් ගත්තා.අපි දෙන්නා විවිධාකාර ගමන්වල යෙදුණා.සුධාරකගේ රැකියාවේ හැටියට අනියම් සම්බන්ධතා පැවතීම රැකියාවට ප්‍රශ්නයක්.ඒ නිසා මට ඔහුගේ රාජකාරී ස්ථානයට අනුබද්ධ නවාතැනට යන්නට නම් හැකි වුණේ නෑ.නමුත් මම ඔහු සමඟ විවාහ උත්සව සහ විවිධ තැන්වලට ගියා.

පුදුමයට කාරණාව වූයේ සුධාරකගේ අම්මා සහ පවුලේ අයත් මා ආදරයෙන් පිළි ගැනීමයි.ඔවුන් කොහොමටත් දිල්හානි සමඟ යහපත් ඇසුරක් තිබුණේ නෑ. ඇය මුදලට කෑදර ගැහැනියක වීමත් සුධාරකට කිසිදු ආදරයක් නොදැක්වීමත් ඇගේ දරුවන් තිදෙනා සුධාරකගේ ඥාතීන්ගෙන් ඈත් කිරීමත් නිසාම ඇය සුධාරකගේ අම්මා සහ සහෝදරියන්ට අප්‍රිය වෙන්නට පටන් ගෙන තිබුණා.ඒ නිසාම ඔවුන් මට නැවත සමීප වෙන්නට පටන් ගත්තා.මට නිතරම ඇමතුම් ලබා දීම ඔවුන් දකින්නට එන්නැයි ආරාධනා කිරීම සිදු වුණා.

අතීතයේ දවසක සුධාරකත් මාත් වෙන් කළ ඔහුගේ අම්මාට මම නැවත සමීප වුණේ දෙවතාවක් නොසිතා.ඇය සුධාරක මිය යන්නට ඇතැයි සිතා මට සාධාරණයක් කළ බව මම එදා සිතුවා.

ඒත් ඕනෑම කෙනෙකු ගැන තීරණ ගන්නට ඉක්මන් විය යුතු නෑ.ඒ ඇයි කියන කාරණාව මම ඉදිරියේදී කියන්නම්.

දිල්හානි සුධාරකගේ සහෝදරියන්ට මා සම්බන්ධයෙන් පැමිණිලි කරත් ඔවුන් ඇය සමඟ සුහද කතාබහකට එකඟ වී නෑ.ඔවුන් ඇය සමඟ කතා නොකරම පන්නා ගන්නට පවා ක්‍රියා කර තිබුණා. ඒ හැමදෙයකටම හේතුව වසර ගණනාවක් තිස්සේ ඔවුන් දිල්හානි සමඟ ඇති කරගත් නොහොඳ නෝක්කාඩුයි.

සුධාරකගේ බිරිඳ ප්‍රතික්ෂේප වී ප්‍රේමවන්තියට ඒ තැන අයිති වෙන්නට ගත්තේ අන්න ඒ ආකාරයෙන්.ඇය නැවතත් විශාල.ගුරුකමක් සූදානම් කරේ ඔය අතර.රාජකාරියක් සඳහා දින කිහිපයකට විදේශ ගත වී හිඳ සුධාරක යළි මව් රටට පැමිණෙන තුරු ඇය තරමක ලොකු ගුරුකමක නියැලෙමින් හිටියා.

“ඕවා මිථ්‍යා වෙන්න පුලුවන්.ඒ වුණාට ඇත්ත නැත්ත කියන්න පුලුවන්ද”

එහෙම හිතන්නට පටන් ගත් සුධාරක ගෙදරින් යන්නට තීරණය කර තිබුණා.ඔහුගේ මුදලින්ම තැනූ නිවස අත් හැර දමන්නට ඔහු තීරණය කළේ අන්න ඒ මොහොතේ දී.නමුත් ඔහුට යන්නට තැනක් තිබුණේ නෑ.

“අම්මා ඉන්න තැනට ළමයෙක්ට එන්න පුලුවං.මේ මහ ගෙදර ඇවිල්ලා නවතින්න.”

ඔහුගේ අම්මා ඒ යෝජනාව ගෙන ආවා.සුධාරක අත්‍යවශ්‍ය දේවල් ද රැගෙන දිල්හානිට නොදන්වාම නිවසින් පිටව ගොස් තිබුණා.ඔහු නිවසින් පිටව ගිය පසු දිල්හානි ඔහු නැති බව කියමින් සෑම තැනකටම දුරකථන ඇමතුම් දෙමින් ඔහු සොයන්නට පටන් ගෙන තිබුණා.නමුත් ඇය මට හෝ සුධාරකගේ අම්මාට කතා කලේ නම් නෑ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles