දරු නොලදිම්

“කොහෙ යන්නද මේ ලෑස්තිය?”

කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද කියල කල්ප දන්නවා.

“නංගිලාගෙ දිහා.කැවුම් හදන ගෙවල් අස් කරන වැඩ ඇතිනෙ කල්ප.කිරියායි කිරිබත් එකයි නම් හදන්නේ පස්සෙනෙ.”

දර්ශි එහෙම කියනකොට කල්ප බිරිඳ දිහා බැලුවෙ නොරිස්සුමෙන්.අම්මා මගින් මගටම කියපු දේ කල්පට මතක් වුණා.ඒ කතාව අහලා දර්ශිගේ හිත මොන තරමට රිදෙනවද කියන එක කල්පට වැදගත් නැහැ ඇත්තටම අම්මා කියන දේ ඇත්ත කියලයි කල්පට හිතෙන්නේ.

“ඔයා නංගිලාගේ ගෙදර යන්නේ? පිස්සුද?”

කිරි දානයක් දෙන තැනකට දර්ශි වගේ වඳ ගැහැනියක් නොයා යුතු බව කියන කල්පට ඒ කතාව හින්දා බිරිඳට මොනතරම් රිදුමක් ඇති වෙයිද කියලා හීනෙකින්වත් හිතුණේ නෑ හිතන්න උත්සාහ කරන්නවත් කල්ප කැමති නෑ.දරුවෙක් කියන්නේ මොනතරම් වාසනාවක්ද? ඒ වාසනාව දර්ශිට උරුම නෑ. ඒ නිසා කල්පට ඇති වෙන්නේ පුදුමාකාර තරහක්.

“ඔයාට ඒ පළාතේ එන්න දෙන්න එපා කියලා අම්මා කිව්වා.අනේ මේ දර්ශි, මටත් බැනුම් අස්සවන්නේ නැතුව වැඩක් බලා ගන්නවා.”

එහෙම කියලා කල්ප ගෙට ගියේ කේන්තියෙන්.දර්ශි ඉන්න තැනම ගල් වෙලා බලාගෙන හිටියා.හුලඟ පවා හමන්නේ සමච්චලේට වගේ කියලා දර්ශිට හිතෙනවා.”වඳ ගෑනි” කියන ලේබලේ දරුණුම තැනක් දරා ගන්න අමාරුම වෙනකොට ජීවිතය සහ මරණය කියන දෙකෙන් එකක් තෝරා ගත යුතු බව දර්ශිට හිතෙන්න පටන් ගත්තා.අඹ ගහ යට බංකුවට වෙලා ගලාගෙන යන කඳුළු වලට ඔහේ ඉඩ දීලා දර්ශි කල්පනා කළේ කරන්න ඕන හොඳම දේ ගැන.

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට

ඒ පද පේලි දෙක කොහේදෝ ඉඳලා කන හැපෙනවා වගේ දර්ශිට දැනෙනවා.මේ අඹ ගහත් තාම පීදිලා නෑ.”වඳ පීදුණු ගහක්” කියලා කල්පගේ අම්මා ගහටත් දෝස්මුර තියලා දැන් ටික දවසක්.ඒ බැනුම ගහට ගහට නෙමෙයි තමන්ට කියලා දර්ෂි නොදන්නවා නෙමෙයි.සිරුරේ තියෙන වැරැද්දක් තමන්ගේ මුළු ජීවිතේම නාස්ති කරල දාන්න සමත් වුණේ ඇයි කියලා දර්ශි හිතන්න පටන් ගත්තා.

සෑහෙන වෙලාවක් ඉකි ගහ ගහ ඉන්න කොට දර්ශි හරි අපූරු දෙයක් දැක්කා. මාස කීපෙකට කලින් දවසක මල් පැළ අරගෙන ආව ලොරියෙන් අරගෙන හිටවපු සමන් පිච්ච වැල ඉහළට යන්න ආධාරකය කරගෙන තියෙන්නේ අඹ ගහ.පුංචි මල් මොට්ටු කීපෙකුත් වැලේ තියනවා.නොලැබෙන දෙයක් ගැන හැම තිස්සෙම හූල්ල හූල්ල ඉන්නකොට මේ ලස්සන දර්ශනය ඇස් දෙකට වැටිලා නෑ කියලා දර්ශිට තේරුම් ගියා.අඹ ගහේ ගෙඩි හැදෙන්නේ නැති බව ඇත්ත! ඒත් අඹ ගහ සමන් පිච්ච වැල දරා ගන්න පටන් අරන්.මල් පිපෙන්න පටන් අරන්.දර්ශිට දැනුණේ සැනසිල්ලක්.හිත හොඳටෝම රිදෙන වෙලාවට මෙහෙම දසුනක් වුණත් හිත හදා ගන්න සෑහෙනවා.

“මට බැරිද අඹ ගහ වගේ වෙන්න?”

දර්ශි ඒ ගැන දිගින් දිගටම හිතන්න ගත්තේ ඊටපස්සේ.රළු ඇනුම්බැනුම් සහ පිහි ඇනුම් වගේ සමච්චලයන් ආයෙත් ආව දවසක දර්ශි කල්පටත් එයාගේ අම්මාටත් කතා කරන්න තීරණය කළා.

“මට දරුවෙක් හදන්න බෑ.ඒක රිපෝට්ස්වල තියෙනවනෙ.ඔයාලා ඔය තරමටම බබාලට ආස නම්,බබෙක් අරන් හදා ගන්නත් අකමැති නම් මම කැමති ඩිවෝස් වෙන්න.”

ගෑනු කියන්නේ පෑගිලා තැලිලා ඉන්න ඕන අය නොවෙන බව දර්ශිටම හිතුණේ ඒ වචන කිහිපය කිව්වාට පස්සේ.දර්ශිට මේ හදිසියේ පහළ වුණු හයිය ගැන තේරුමක් නැතත් කල්ප එක දෙයක් තේරුම් ගත්තා.ඒ ඇය ආපහු හැරෙන්නෙ නැති බව.හැරවීමක් නැති ගමනක දර්ශි යනකොට දික්කසාදය ලබා දීලා ආපහු හැරෙන්න කල්ප තීරණය කළා.

“අපි අත් අල්ලාගෙන ගමනක් යන්න තීරණය කළේ සැපදුක එකට දරාගන්න හිතාගෙන.මගේ දුර්වලකමක් කියන්නේ ඔයාට ඇනුම්පද කියන්න කාරණාවක් නම් අපි මේ ගමන එකට යන එක තේරුමක් නෑනෙ කල්ප.”

සමු ගන්න කලින් දර්ශි කල්පට කිව්වේ එච්චරයි.

“ගෑනියෙක්ට දරුවෙක් නැතුවට කමක් නෑ.කසාදයක් වුණත් ආයේ කරගන්නකොට ඇත්තටම ඒ මනුස්සයට මූණු කීයක් තියනවද කියලා හොයලා බලල ඉන්න.”

දර්ශිගේ අක්කා හර්ෂනී දර්ශිට එහෙම කිව්වේ දික්කසාදයට පස්සේ.ඇත්තටම කසාදයක් හෝ දරුවෙක් කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි. අතිශය පෞද්ගලික තෝරා ගැනීම්.කල්පට පේන්න ලස්සන ජීවිතයක් ඉක්මනින් හොයා ගන්න දර්ශිගේ තුන් හිතකවත් තිබුණේ නෑ.එහෙම පලි දැරීම් අසාර්ථක වෙන්න තියන ඉඩ හරිම වැඩි බව ඇය හිතුවා.ඒත් ජීවිතේ ඇයට තිළිණ කරන සුන්දරම පුදුමයන් අහක දාන්න දර්ශිට ඕනෑ වුණේ නෑ.ඇය ජීවිතයට ගලා යන්න ඉඩ දුන්නා.ඒ ගලා යාම අතරමැද මුණ ගැහුණු සුන්දරම මිනිසෙක්ව දෝත පා පිළි ගන්න තීරණය කළා.

“දරුවෙක් කියන්නේ දරුවෙකුට.අපිට එයාට ආදරේ කරන්න පුලුවන් නම් එයා ඔයාගේ බඩේ හැදෙන්නම ඕනෑ නෑ නේද?”

රහල් එහෙම අහනකොට දර්ශිට දැනුණේ පුදුමාකාර සැනසිල්ලක්.දරුවෙක් අරන් හදා ගමුද කියලා කල්පගෙන් බැගෑපත්ව අහනකොට ජාතියක් ජන්මයක් නැති අවජාතක ළමයින්ට මේ වහල යට ඉඩ නැහැ කියලා කල්ප වහලේ උළු හෙලවෙන තරම් සද්දෙට කෑගහන හැටි දර්ශිට තවමත් ඉඳහිට මතක් වෙනවා.
ඒත් දර්ශි ඉක්මනින්ම ඒ අමිහිරි මතකය අමතක කරනවා.මාස තුනක් වයස පුංචි දෝණි ගෙදරට ඇවිල්ලා තාම දවස් තුනයි.ලියකියවිලි වැඩ සහ නීතිමය තත්ව නිසා එයාව අතට ගන්න දවස් ටිකක් දිග වැඩි වෙනකොට රහල් දර්ශිගේ අත තදින් අල්ලාගෙන ඒ දවස් දරා ගත්තා.ආදරේ කියන්නේ දරා ගැනීමට කියලා දර්ශි තේරුම් ගන්නේ දැන්.ඇස් ලොකු කරමින් අලුත් ලෝකය දිහා පුදුමයෙන් බලන් ඉන්න පුංචි දෝණි ඒ පාඩම තවත් දිගට උගන්වාවි කියලා ඇය දන්නවා.

මේ කල්පගේ ගෙදරදි වින්ද අප්‍රමාණ අමිහිරි මතක අමතක කරන්න කාලය කියලා දර්ශි දන්නවා.ඒත් ඇයට අඹ ගහත් සමන් පිච්ච වැලත් අමතක කරන්න හිතක් නෑ.දැන් ඇයත් සමන් පිච්ච මල් වැලක් දරාගෙන ඉන්න අඹ ගහක්.සුවඳ මලකට පිපෙන්න ඉඩ දෙන ඕනෑම ගහක් අම්මා කෙනෙක් තමයි.දර්ශි හිතුවේ පුංචි දූගේ හිස් මුදුන සීරුවෙන් සිප ගන්න ගමන්.

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...