එක එක තීරණ

රුවනි මෝටර් රථයට ඇවිදගෙන ආවේ කඩිසර ගමනින්.අද විශේෂ රැස්වීමක් තියෙන දවසක්. මිනිත්තුවක් වත් අතපසු වෙන්න වෙලාවක් නැහැ.හැම දෙයක්ම ඊයේ රෑ කරල තිබ්බ නිසා රුවනිට උදේ සූදානම් වෙන්න එතරම් වෙලාවක් ගියේ නෑ.ගයාන්ගේ උදව් ඕනෑවටත් වඩා ලැබෙන නිසා මේ අතිශය කාර්ය බහුල ජීවිතය රුවනිට වේදනාවක් නෙවෙයි.

“ඔයා ලෑස්තිද පැටියෝ.”

චූටි දෝනි එයාගේ කාර් සීට් එකේ හරිබරි ගැහිලා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන්.බබාලව සීට් එකකට තියලා ගැටගහලා අරන් යන්න ලෝබ නැද්ද කියලා ඉස්සරහ ගෙදර ඩල්සි ආන්ටි අහපු වග එහා ගෙදර රංගනී කිව්වෙ ඊයේ.රුවනිට ඒ කතාව මතක් වෙලා හිනාවක් ගියා.

“ඩොක්ට සමරදිවාකරට චැනලින් දැම්මා නේද?”

ගයාන් වාහනේ පණ ගන්වන ගමන් ඇහුවා.රුවනි හිනා වෙලා ඔළුව වැනුවා.චූටි දෝණිගේ මල්ලි බබා අම්මාගේ බඩ ඇතුළට වෙලා හොඳින් ඉන්නවද බලන්න අද වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන්න තියන දවස.රුවනි ඒ හමුවීම ඊයේ හවසම වෙන් කර ගත්තා.

“තව බබෙක් හදන්න කල් වැඩි නැද්ද ළමයෝ?”

ඒ කතාව අහපු ඩල්සි ආන්ටි ඉදලත් අතේ තියාගෙන පාර අතුගාන හැටි රුවනි දැක්කේ පාරට හැරෙනකොටමයි.කිසිම හදිසියක් නැති බවත් මේ දරු උපත් දෙකම සැලසුම් කළ ඒවා බවත් දන්නේ රුවනි. ඒ නිසා රුවනිට මේ සැලසුම්සහගත ජීවිත අතරට තව දරුවෙක් ගෙන ඒම වෙහෙසක් නෙවෙයි.

“අර පොඩි එකාව උදේ පාන්දරින් උස්සන් යනවනෙ ඩේ කෙයා අස්සෙ දාන්න.”

ඩල්සි එහෙම කිව්වේ පාර අයිනේ ගහෙන් වතුසුදු මල් නෙළමින් ඉන්න රංගනීට.අසේල ඔෆිස් යන්න පිටත් වුණේ දැන්.චූටි දූ ඇහැරෙන්න කලින් ඇඟපත සෝදාගෙන බුදු පහන තියන්න ලෑස්ති වෙමින් හිටිය රංගනීට ඩල්සි ආන්ටිගේ කතාව දැනුණේ මහා හිරිහැරයක් ගාණට.

“ඩේ කෙයා තියෙන්නෙ ඉතින් බබාලට ඉන්න තමයි ආන්ටි.”

එහෙම කිව්වට මොකද රුවනිට චූටි දූ ඩේ කෙයා එකේ දාන්න හිත හදා ගන්න බැරි වූණා.දරුවෙක් ගැන හීන දැකලා දැකලා ඇති වෙලා තිබුණු කාලෙක අතට ආපු පුංචි මැණික පරිස්සමින් ආරක්ෂා කරන්න රස්සාවෙන් අස් වෙන්න රංගනි තීරණය කරනකොට අසේල මොකුත්ම කීවේ නෑ.ආදරෙන් ඔලුව අත ගෑවා විතරයි.

“ඔය ඩේ කෙයා අස්සේ මොනවා වෙන්න බැරිද?”

ඩල්සි ආන්ටි එහෙම කියනකොට රංගනීට තරහත් ආවා.රුවනිගේ බබා ඉන්නේ හොඳම තත්ත්වයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක බව රංගනී දන්නවා.ඕනෑම මොහොතක එතැන විස්තර කැමරා ආධාරයෙන් රුවනිට ලබා ගත හැකි බවත් දන්නවා.රුවනි ඒ රැකියාව කරන්නේ හරිම සන්තෝසයෙන්.රස්සාව දාලා බබාලා බලා ගන්න වුණානම් රුවනිගේ ඔය හිනා මුහුණ අතුරුදහන් වෙන්න ඉඩ තිබුණු බවත් රංගනී දන්නවා.

“ඉගෙන ගත්තු දෙයින් කිසිම ප්‍රයෝජනයක් නැතුව ගියා නේද දූට නම්”

රුවනිගේ බබා ඩේ කෙයා යාම ගැන කම්පා වුණු ඩල්සි ආන්ටි රංගනීගෙන් එහෙම අහනකොට රංගනීට හිනාවක් මතු වුණා. ඉගෙන ගත්තු දේවල් අහක යාම විතරක් නෙවෙයි ගැහැනියකගේ ස්වාධීනත්වය අහිමි වීම ගැන පවා ලොකු කතා අහන්න ඒ දවස්වල රංගනීට සිද්ධ වුණා.ඒත් ඒ හැම කතාවකටම වඩා මේ සුරලෝකේ ඉඳන් තමන් ළඟට ආව පුංචි සුර දූතයා රකින්න තමන්ට වගකීමක් තියනවා කියලා රංගනී තීරණය කළා.

“මොකටද අනේ ඔයා ඉගෙන ගන්නේ? තේරුමක් නෑනෙ..”

දූ මව් කිරි බොන කාලේ ඉවර වුණාම ඊළඟ උපාධියක් සඳහා ලෑස්ති වෙමින් හිටිය රංගනීගෙන් පාසල් මිතුරියක් ඇහුවේ උපහාසයට වගේ.රස්සාව දාලා ගෙදර ඉන්නේ පූර්ණකාලීනව කියලා එයා හිතාගත්තු දේ වෙනස් කරන්න රංගනී හිතුවෙ නෑ.දූගේ අත්තටු හයිය වෙන දවසක් එනවා.ඒ දවසට අර අපතේ ගිය ඉගෙන ගත්තු දේවල්වලින් වැඩක් ගන්න දවසක් එන බව රංගනී දන්නවා.අමාරුවෙන් අතට ගත්තු සම්පත ඩේ කෙයා එකකට දාලා ඔෆිස් යන්න රුවනිගෙ හිත තරම් හිතට හයිය නැතත් එහෙම තීරණයකටත් එන්න ඕනෑ දවසක් එන බව රංගනී දන්නවා.

“නිදි ඇඳේ හිටිය ළමයා පැහැරගෙන ගිය කතාවක් මතකද කාලෙකට කලින් ප්‍රසිද්ධ වුණා.එහෙව් රටේ තමයි දරුවෙක් කඩේ යවලා මරාගත්තේ.ඕවා ඇහෙනකොට නම් ඉතින් හැම අම්මම රංගනී දුව වගේ ගෙදර ඉන්න එක තමයි හොඳ”

විවිධාකාර සිදුවීම් කාලෙන් කාලෙට ආරංචි වෙනකොට හිත ගැස්සෙන බව ඇත්ත.ඒ වුණාට තමන්ගෙම කියලා සැලසුමක් ඇතිව වැඩ කරනවනම් ඒ වගේ කාරණාවලට ඕනෑවට වඩා තිගැස්සෙන්න නුවුමනා බව රංගනීට විශ්වාසයි.කරන්න ඕනෑ හොඳින් හිතා බලා හරි දේ කරන එක.

“අම්මා කෙනෙක් ගෙදර ඉඳලා බබාලා බලා ගත්තොත් අනේ අපරාදේ ඉගෙන් ගත්තු දේවල් කියන අයම ඒ අම්මා බබාව ඩේ කෙයා දාලා රස්සාවට ගියොත් ඒකට දොස් කියනවා ආන්ට්. කළ යුතු හරිම දේ කරනවා මිසක කාටවත් ඕන දේ කරාටත් සැනසීමක් ලැබෙන්නේ නෑනෙ”

තමන්ට එක කතාවකුත් රුවනිට තව කතාවකුත් කියන ඩල්සි ආන්ටිට එහෙම උත්තරයක් දෙන ගමන් ගෙට එන රංගනීට ෆේස්බුක් කාන්තා සමූහයට තිබුණු දෙයක් සිහි වෙනවා.

“දරුවෝ ඇස් මායිමේ රකින්න ඕනෑ තමයි.ඒත් දරුවෙක් තනියම කඩේ යැව්වෙ ඇයි අහන අපිට දරුවෙක්ට තනියම අඩි දහයක් යන්න බැරිතරම් මේ රට නාස්ති වෙලා කියලා මතක් නොවෙන එකයි පුදුමේ”

හැම දෙයක්ම සෑහෙන්න වෙනස් වෙලා.මිනිස්සුන්ගේ මනුස්සකම් සෘණ අගයකට ඇවිල්ලා.ඒ හැමදේම එක්ක එක එක අයට එක එක විදියේ තීරණ ගන්න වෙන බව රංගනී දන්නවා.

දූ බලාගෙන අවුරුදු කීපයක් ගෙදර ඉන්න රංගනි ගත්තු තීරණෙත් හරි.බබාලා ඩේ කෙයා දාමින් රැකියාව කරන්නත් ඉක්මනින් දරු උපත් දෙකක් සිදු කරන්නත් රුවනි ගත්තු තීරණයත් හරි.තමන්ගේ ආර්ථික ශක්තිය ගැන හිතලා මානසික මට්ටම බිමට දාගන්නේ නැතුව කරන හැමදෙයක්ම හරි කියලයි රංගනීට හිතෙන්නේ.

හැමදෙයක්ම තමන්ගේ විදියට හරියට කරාම හරි! රංගනී එහෙම හිතුවේ ගෙට යන අතරේ.

More Stories

Don't Miss


Latest Articles