(අ) හිමි සිහින -111

දිල්හානිගේ නික්ම යාම එක්ක ඇය නැවත අපේ ජීවිතවලට පැමිණියාද නැද්ද කියලා මගෙන් ඔබ අහලා තිබුණා.ඇය  ගැන ඉතා අඩුවෙන් කතා කරන්නට කැමති මම ඇගේ පරිච්ඡේදය අවසන් කරන්නට ඈ ගැන අවසන් තොරතුරු කියා අහවර කරන්නට සිතුවා.

දිල්හානි නිවාඩුවකට යැයි රටින් පිටවී ගියත් නැවත පැමිණියේ නෑ.ඇය දරුවන් ද සමඟ ඒ නික්මී ගොස් තිබුණේ සදහටම ඒ රටේ ජීවත් වීමට පිඹුරුපත් සකසාගෙන.

ඒ නික්ම යාම එහෙම සිදු වුණත් ඇය පවරා තිබූ නඩුවට මුහුණ දෙන්නට අපිට සිදු වුණා.මා සමඟ විවාහ වී දික්කසාද නොවී ඇය සමඟ විවාහ වීම. කච්චේරියෙන් අපේ ව්වාහ සහතිකය පවා ඇය ලබාගෙන තිබුණා.ඒ බොරු චෝදනාව යටතේ දැමූ බහු විවාහ නඩුවට අපි මුහුණ දුන්නා.ඒ සියල්ල ප්‍රතික්ෂේප වූවා.ඒ මම නොබියව ඒවාට මුහුණ දුන් නිසා.නඩුවලට මුහුණ දෙන්නට දිල්හානි ලංකාවේ නොසිටි නිසා ඒ සියල්ලටම ඇය වෙනුවෙන් පෙනී සිටියේ ඇගේ අම්මා.ඒ මහලු කාන්තාවට දියණිය වෙනුවෙන් උසාවි ගානේ එන්නටත් සිදු වුණා.

දිල්හානි මා මෙන්ම පවුලේ එකම දරුවා.ඇය රටින් නික්ම ගිය පසු ඇගේ අම්මා සහ තාත්තා ඉතා අසරණ භාවයට පත් වෙන්නට තිබුණා.නමුත් සුධාරක එසේ වන්නට ඉඩ තැබුවේ නෑ.ඔහු ඔවුන් වෙනුවෙන් සේවකයන් යෙදවූවා.දිල්හානිගේ තාත්තා රෝහල්ගත වී සිටියදී සියල්ලම සොයා බලමින් ඉටු කළා.ඒ තාත්තා මිය ගිය පසුත් හැම යුතුකමම ඉටු කළා.බොරු නඩු දමා රටින් පැන ගිය දිල්හානිට තාත්තාගේ අවසන් කටයුතු වලටවත් එන්නට ලැබුණේ නෑ.

අපේ කර්ම ශක්තියට අනුව සියල්ලම සිදු වෙන බවට දැඩි විශ්වාසයක් ඇති මට ඇය කළ හදි හූනියම් ගැන නම් කිසිම බයක් තිබුණේම නැති තරම්.මගේ ජීවිතය තුළ මොනවා සිදු වුණත් මම කඩා වැටුණේ නෑ.මට මොනවා සිදු වුවත් මම යකඩ ගැහැනියක් බවට පත් වූවා.දිල්හානි ඒ නික්ම යාමෙන් පසු නිහඬව හිටියේ නෑ.මගේ ජීවිතයේ විශාලම කඩා වැටීම වූ සිදුවීමට පොහොර වතුර දමන්නට ක්‍රියා කළා.

නමුත් ඒ කඩා වැටීම වේදනාවක් පමණයි! මම ඒ කඩා වැටීමෙන් හිත ශක්තිමත් කර ගත් අන්දම ඉදිරියේදී ඔබට කියන්නම්.

සියල්ල මොන ආකාරයෙන් සිදු වුණත් මම වෘත්තිය ස්ථාවරත්වය හොඳින්ම රැක ගත්තා.ඒ තමයි මගේ ආභරණය.සුධාරක දිල්හානි නිසා ණය කරුවෙකු වී සිටියදී ඔහුගේ ඒ ණය බේරන්නට පවා මා සතුව මුදල් තිබුණා. සෑම නඩුවක්ම හොඳම නීතිඥයන්ට පවරන්නට මා අත මුදල් තිබුණා.ඒ නිසා අපිට ආර්ථික වශයෙන් කිසිම ගැහැටක් තිබුණේ නෑ.දිල්හානිගේ කටයුතු නිසා ණය බරින් මිරිකී ගිය මිනිසෙකුව සිටි සුධාරක මා නිසා ආත්ම විශ්වාසයෙන් කටයුතු කළ තැන් ඕනෑතරම්.මා සතුව මුදල් ඇති නිසා අමාරුවේ නොවැටී ජීවිතය ගොඩ දාගන්නට හැකි බවට ඔහුට හොඳ විශ්වාසයක් තිබුණා.

වෘත්තිය ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවර භාවය!

මේ ගැහැනියකට ආභරණයක් වන දෙයක්.මගේ කතාවෙන් ආදරය සහ පවුල් ජීවිතය ගැන ඔබට ආදර්ශ සපයන්නට හැකිදැයි මම දන්නේ නෑ.කළ නොයුතු හෝ යුතු දේවල් ගැන දැන ගන්නට හැකි බව නම් දන්නවා.නමුත් මගේ ආර්ථික ස්ථාවරත්වයෙන් පාඩම් ඉගෙන ගන්න කියලා ඔබට කියන්නට මම කැමතියි.ඒ ඕනෑම චණ්ඩ මාරුතයකට ගැහැනියක ලෙස පහසුවෙන්ම මුහුණ දෙන්නට ආර්ථික ස්ථාවර භාවය හේතුවන නිසා.

මොන දේ කොහොම වුණත් ඔබේ වෘත්තිය හොඳින් කරන්න! හොඳින් උපයන්න.එවිට ඔබට හිස කෙලින් තබාගෙන රැජිනක් ලෙස ජීවත් වන්නට පුලුවන්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles