වාසනාව

නම වාසනා වුණාට ආවෙ මට අවාසනාව අරන්,තමුසෙ මේ ගෙදරින් යනවා”

වාදය මැද්දෙ කියපු සමිතගෙ වචන වාසනාගේ හිත පතුලටම කිඳා බැස්සෙ ඊයම් බරුවක් වගේ.බබාල නැති නිසා චෙකප් එකකට යමු කියන වාසනාගෙ ඉල්ලීමට සමිතගෙ ප්‍රතිචාර වුණේ දරුණුම වචන පෙළක්.සමිත කියපු ඒවගෙ ඇත්තක් නැත්තෙත් නෑ කියලා වාසනාට හිතුණා.ඇත්තටම වාසනාව කසාද බඳිද්දි සමිත සශ්‍රීක ජීවිතයක් ගතකළා.කිසිම අඩුපාඩුවක් තිබ්බෙත් නැහැ.කසාද බැඳලා මේ ගෙවෙන්නෙ හතරවෙනි අවුරුද්ද වුණත් ජීවිතේ කිසිම කල එළියක් නැහැ නේද කියලා වාසනාට හිතුණා.අඩුම දරුවෙක් වත් හිටිය නම් පොඩ්ඩක් ජීවත් වෙන්න හරි ආස හිතෙයි.ඒත් එහෙම වාසනාවක් වත් මට නැහැනෙ හිතුණ වාසනාට හීල්ලුණා.

සමිතගෙ ව්‍යාපාර එන්න එන්න පාඩු ලබන්න පටන් අරන් නැත්තටම නැති වෙලා වගේ තියෙන්නෙ.හරියට සේවකයෙක්ගෙ පඩියක්වත් ගෙවාගන්න බැහැ.ඒකට හේතුවක් වාසනා දන්නෙ නැත්තෙ සමිත ව්‍යාපර ගැන වාසනා එක්ක කතා නොකරන නිසා.ඒත් විවාහයට පෙර ඒවා හරිම සරු සාරයි.ඒ කතාවල ඇත්තක් තියෙනවද කියලා වාසනා හොරෙන් හොරෙන් හිතන්න ගත්ත විතරක් නෙවෙයි ඒක ඇත්ත කියලත් හිතෙන්න ගත්තා.

වාසනා කවදාවත් “වාසනාව” විශ්වාස කලේ නැහැ. “උත්සාහය” තරම් දෙයක් නැහැ කියලයි නිතරම හිතුවෙ වගේම ඉගෙන ගත්තෙත්.අම්ම තාත්තා නැතිව ඉපදිලා,හොඳට ඉගෙන ගෙන,උපාධියක් අරන්,ගුරු රැකියාවට ආවෙ රෝසමල් අතුරපු පාරක නෙවෙයි.උත්සාහය නිසා බව වාසනා දන්නවා.සමිත පවා ඒ දවස්වල වාසනාට ආදරේ කලේ ඒ දහිරියට.සමිතගේ ගෙදරින් අකමැති වෙද්දි පවා සමිත වාසනාව අත හැරියෙ නැහැ.ඒත් ඒ සමිත දැන් මෙහෙම කියද්දි ඒක දරා ගන්නෙ කොහොමද?තාමත් සමිතගේ දෙමාපියන් වාසනාගේ මුහුණ බලන්නෙ නැහැ.නැගනියගේ විවාහයට පවා සමිත ට යන්න වුනේ තනියම,ඒ දෙමාපියන් වාසනාට ආරාධනා නොකල නිසා.ඒත් විවාහයට අවශ්‍ය කටයුතු වලදී කිසිම අහිතක් නොහිතා ,වාසනා ඒවාට සහයෝගය දුන්නා.සමිතගේ අයියා විවාහ වුණේ මෑතකදී ලොකු සල්ලිකාර පවුලකින්.පවුල් දෙකක දේපල එකතු වී ගමම බබලවන විවාහ මංගල්ලයක් ගත් ඔවුන්ට වසරක් යද්දී දරුවනුත් ලැබුණා.ඒ මොකුත්ම නැති තමන්ට මොනා හරි අවාසනාවක් ඇද්ද යන්න වාසනාගේ ඔලුවට වද දෙන්න ගත්තෙ සමිතගේ ඒ වචන එක්ක.ඒක කවදාවත් අමතක නොවෙන විදියට වාසනාගෙ හදවතේ කෙටිලා අහවරයි.

ඉස්කෝලෙ ගිහින් ළමයින්ට උගන්වන අතරෙත් වාසනාට “අවාසනාව”කියන වචනය වද දුන්නා.ළමයින්ව මෝටිවේශන් කරන ඉතාමත්ම කාරුණික ගුරුවරියක් විදියට වාසනා ළමුන්ගේ ජීවිත ඉහල නංවන්න කල මෙහෙය රැකියාව ඉක්මවා ගිය එකක්.ඒත් තමන් කොච්චර අවාසනාවන්ත තත්වයක ඉන්නව ද කියලා වාසනාට නිතරම හිතෙන්න ගත්තා.වාසනාගේ වෙනස තේරුණ නිරංජලාට පමණක් දරාගෙන සිටිය නොහැකි තැන වාසනා දුක කිව්වා,නිරංජලා ඇස් අයාගෙන හිටියෙ පුදුමයෙන්.විවේකාගාරයේ කවුරුත්ම සිටියේ නැති නිසා නිරංජලාගේ හඬ තරමක් වේගවත්ව පිටවෙන්න ගත්තා.

“ඔය නම් මම හිතන්නෙ සමිතගෙ ගෙදරින් කුණු දාලා ඔලුවට.අනික වාසනා බබාල නැත්තෙ ඔයාටද සමිතට ද කියල කොහොමද දන්නෙ.මොකද චෙකප් එකක් කරගෙනයැ.අනික එහෙම නෑ කියමු.ඒක අවාසනාවක් වෙන්නෙ කොහොමද?ලෝකෙ ඕනතරම් මිනිස්සු ඉන්නෙ එහෙම සතුටින් තමන්ගෙ ජීවිතේ ගත කරන්.දරුවො නැහැ කියල මැරෙනවයැ.”

නිරංජලා තරහෙන් වෙව්ලනවා.වාසනා ගේ ජීවිතේ අස්සක් මුල්ලක් නෑර දන්න නිරංජලාට වාසනාට එල්ල කරන අපහාස දරාගන්න බැහැ.

“මම ටික දවසක් වෙනම ජීවත් වෙනව කියලා හිතුවා නිරා.සමිතට මගෙන් ඩිවෝස් වෙන්න ඕන නම් මම ඒකටත් කැමති වෙනවා.බලෙන් දේවල් වල එල්ලිලා ඉන්න මම ආස නැහැ.මම අද සමිතට ඒක කියනවා.මගේ අවාසනාව එයාට බලපානව නම් මම තව දුරටත් එහෙ ඉන්න එක තේරුමක් නැහැ.ඔයා මට හොඳ ඇනෙක්ස් එකක් හොයලා දෙන්න ඕන.”

නිරංජලා සිටියේ කම්පාවෙන්.ඇය කිසිවක් නොකියා ඔලුව වැනුවා. “ඔයාට අපේ එහා ගෙදර ඇනෙක්ස් එක මම අදම කතා කරන්නම්.අන්කලුයි ආන්ටියි ඉන්නෙ.ශෝක් තැනක්.එයාලට දරුවොත් නැහැ.ඔක්කොම පහසුකම් තියෙනව.ඉස්කෝලෙට පයින් එන දුරනෙ.අපි ඉක්මනින් බඩු අදිමු.”

“මම තාම සමිතට කිව්වෙ නැහැ.ඒත් එයා අකමැති වෙන්නෙ නැහැ කියලා මම දන්නවා.එයා හරිම වෙනස් දැන්”

කිසිවක් නොකියූ නිරංජලා බෙල් එක සමග පංතිකාමරයට පිටවුණේ මහත් ආවේගයෙන්.වාසනා හිත හදා ගැනීමේ සහ සමිත සමග කතාකලයුතු දෑ සිතීමේ මෙහෙයුමක සිටියා.

වාසනාට සමිතගෙන් සමුගැනීමට සිදුවූවේ නැහැ.ඒ වාසනා එන විට ඔහු සිය ඇඳුම් රැගෙන මහ ගෙදර පදිංචියට ගොස් සිටි නිසා.අඩුගානේ දුරකතනයට හෝ ප්‍රතිචාර දක්වන්නට තරම් සමිත කාරුණික වුණේ නැහැ.වාසනා නොදන්නා යමක් සිදු වෙමින් පැවතෙන බව වාසනා තේරුම් ගත්තා.සමහරවිට සමිත අවාසනාවෙන් පළා යන්න උත්සාහ කරනවා විය හැකියි.වාසනා සිතුවා.ඒත් සමිත ගැන වෛරයක් හෝ තරහක් ඇතිකර ගත්තේ නැහැ.

වාසනා දින කිහිපයක් ඇතුලත ඇනෙක්ස් එකට මාරුවුණා.සමිතට ඒ බව පණිවිඩයකින් දැන්වූ ඇය මෙතෙක් ගතකල ජීවිතයට ස්තුති කළා.වාසනාව ඔහුට ලැබේවා කියා ප්‍රාර්ථනාවක් සහිත පණිවිඩයක් ද තැබුවේ සිතා මතා.එයට සමිතගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

අලුත් ජීවිතය ජීවිතය සුව පහසු ප්‍රීතිමත් එකක් වුණා.මානසික නිදහස නැවත වාසනාගේ මුවට සිනහවක් ගෙන ඒමට සමත්වුණා.නිරංජලාගේ දරු දෙදෙනා වාසනාගේ දරුවන් තරමටම ඇයට සමීප වුණා.සිනහා කෙලි කවට කතා බහ නිවස පුරා රැඳුණා.ඇයගේ ජීවිතය විවිධ ජයග්‍රහණ වලින් පිරී ගියා.උසස් වීම් ලැබුණා.ඉතාමත්ම ඉක්මනින් තමන්ගේම අමතර ව්‍යාපාරයක් අරඹන්නත් වාසනාට වාසනාව ලැබුණා.දික්කසාද නඩුවක් සමිත විසින් දැමූ අතර කිසිදු වන්දියක් ප්‍රතික්ෂේප කරමින් වාසනා එයට අනුමැතිය දුන්නා.සමිත ඉතාමත්ම කෙටි කලකින් නැවත විවාහයකට ගියා.

නිරංජලාගේ සොහොයුරෙකු වන යසිත් වාසනාගේ ජීවිතයට ලංවුණා. හඳුනාගෙන වසරකින් පමණ දෙදෙනා විවාහවුණ අතර දෙදෙනාගේම මුදලින් අලංකාර නිවසක් ඉදිකල ඔවුන්ට වසරක් යද්දී නිවුන් දරුවන් ලැබුණේ ජීවිතය ප්‍රීතිමත් එකක් කරමින්.

“වාසනා,ඊයෙ මට සමිතගෙ නෑයෙක් මීට් වුණා.මම නිකමට ඉතින් පොඩ්ඩක් විස්තර ඇහුවා.තාම දරුවො නැහැලු.බිස්නස් ඔක්කොම වැටිලලු.ගේ විකුණල පොඩි ගේක පදිංචි වෙලාලු.”

“හ්ම්ම්ම්,තාම මගේ අවාසනාව ද දන්නෙ නැහැ නේද?

“ඒක තමා මාත් හිතුවේ”

මිතුරියන් දෙදෙනාගේ සිනහව ගුරු විවේකාගාරය දෙදරවමින් රැව් දුන්නා.

(සත්‍ය කතාවක් ඇසුරෙන්)

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...