(අ) හිමි සිහින -112

අපේ ජීවිතයෙන් කෙනෙක් නික්ම යන්නේ සමහරවිට සදාකාලික රිදුමක් ඉතුරු කිරීමෙන් පසුවයි.තවත් සමහරු අපේ ජීවිතයෙන් නික්ම යන්නේ විශාල අලාබහානි කිරීමෙන් අනතුරුවයි.

දිල්හානි!

ඇය සුධාරකගෙන් නික්ම ගියේ මේ කාරණා දෙකම සිදු කරලා.ඇත්තටම ඒ නික්මීම සුධාරකව විශාල මානසික කම්පනයකට ඇද දැමූ වගත් නොකියාම බෑ.ඔහුට එතැනින් පසු සිදු වූ දේවල් ඒ නික්ම යාමේ සිදුවීම් ගොන්නේ කම්පනය නිසා සිදු වූ බව මට හිතෙනවා.ඒ කතාව ඉතා දීර්ඝ කතාවක් නිසා දිල්හානිගේ නික්ම යාමේ සමහර තොරතුරු සැඟවීමේ තේරුමක් නැති බව මට හිතුණා.

ඇය ඉතා දියුණු යුරෝපා රටකට නික්ම ගියේ සරණාගත පදනම යටතේ.ඒ ගමන වෙනුවෙන් ඇය ඒ රටට දිගින් දිගටම ලිපි ලියා තිබුණා.ඒ ඇයට සුධාරක අඩන්තේට්ටම් කරන බව පවසමින්.ඔහුගේ රැකියාව දඩමීමා කරගෙන ඇයව කායිකව හා මානසිකව අඩන්තේට්ටම් වලට ලක් වෙන බවට ඇය ලිපි විශාල ගණනක් ලියා තිබුණා.එතැනින් සුධාරකට මහත් මානසික පීඩාවන් ඇති කරන්නට හේතු වූ කාරණාව ඇය ලියූ එක් කාරණාවක්.ඒ දරුවන් ඔහු අතින් විවිධ අඩන්තේට්ටම් වලට ලක් වන බවයි.එවැනි අභූත චෝදනාවක් තාත්තා කෙනෙකුට මොනතරම් පීඩාවක් ඇති කරනවාද කියන්නට මට වචන නැහැ.

මගේ දියණියගේ තාත්තා ඔහුගේ මිතුරු කවය සමඟම ජීවත් වූ මිනිසෙක්.ඔහු දියණියගේ ලෝකයට අයත් කෙනෙකු නෙවෙයි.ඒත් සුධාරක සහ මගේ දුව අතර ඉතාම තද බැඳීමක් තිබුණා.ඔහු මගේ දුවට ආදරය කළේ ඔහුගේම ලෙයින් උපන් දරුවෙකුට මෙන් අප්‍රමාණ ස්නේහයකින්.එහෙව් තාත්තා කෙනෙකුට අර තරමට බරපතල චෝදනාවක් නැඟීම මොනතරම් අසාධාරණයක් දැයි මට හිතා ගන්නටවත් හැකි වුණේ නෑ.

එවැනි අභූත චෝදනා නගා දිල්හානි පිටව ගියේ සුධාරකට නඩු දමා බව මම පැවසූ අයුරු ඔබට මතක ඇති.නමුත් ඇගේ අභුත චෝදනා සම්බන්ධයෙන් අපි උසාවියේදී කරුණු ඔප්පු කළ නිසාම ඇයට අසත්‍ය චෝදනා පැවරීම සම්බන්ධයෙන් වැරදිකාරියක වන්නට සිදු වුණා.ඇය නැවත මව්බිමට නොඑන කාරණාව එයයි.එපමණක් නෙවෙයි, ඇය අසත්‍ය කතා ගොතා විදේශය වෙත ගිය බව අප ඒ රටට ලියා යවන්නට වග බලා ගත්තානම් ඇයට පිටුවහල් වෙන්නටත් සිදු වෙනවා.නමුත් අපි එසේ කළේ නෑ.

“කොරහත් බිඳගෙනම ගිය යකා ආයේ ගෙන්නාගෙන මොකටද?”

මම නම් හිතුවේ එහෙමයි!

මම සුධාරකට ඒ නඩු සම්බන්ධයෙන් කළ හැකි හැම උපකාරයක්ම කළා.ඔහුට ඒ නඩුවලට ගෙවන්නට කිසිම මුදලක් තිබුණේ නෑ. දිල්හානිට දිනුම දෙන්නට බැරි නිසාත් ඇගේ ක්‍රියාවන් ඔප්පු කළ හැකි මට්ටමේ දක්ෂ නීතිඥයෙකු උවමනා නිසාත් මම හොඳම නීතිඥවරයෙකු ඒ නඩු වෙනුවෙන් යෙදවූවා.අවසානයේ සුධාරක නඩත්තු නඩුවෙන් පවා නිදහස් වුණා.ඔහුට නඩු ගාස්තු ගෙවන්නට පවා දිල්හානිට උසාවියෙන් නියම කළා.

ඒත් සුධාරක එයට කැමති වූයේ නෑ.

“ළමයින්ට කන්න බොන්න තියන සල්ලියෙන් එපයි ඔය ගෑනු මනුස්සයා ඕක ගෙවන්න.ඒක මට එපා මැණිකේ.”

ඔහු මට එහෙම කිව්වා.

ඒ මොහොතේ මට හිතුණේ එක් දෙයක්.මගේ ජීවිතය තුළ මම කරන තරමක් කර තිබෙන්නේ පරිත්‍යාගය පමණයි.දිල්හානිගෙන් මුදල් ලබා ගැනීම දරුවන්ට කන්නට බොන්නට ඇති මුදලක් වියදම් වීම බව සිතූ සුධාරකට එක දෙයක් අමතක වුණා.ඒ මම මේ නඩුවට වැය කළ මහා විශාල මුදල මගේ දරුවා වෙනුවෙන් වැය කරන්නට තිබූ මුදල් බවයි.මම එහෙත් ඔහුට ඒ බවක් කියන්නට හෝ ගැටුමක් ඇති කරගන්නට සිතුවේ නෑ.

මේ විවිධ ජීවිත කිහිපයක විවිධ පැතිකඩ පෙන්වන මගේ සත්‍ය ජීවිත කතාව.මම සියයට සියයක් නිවැරදි හෝ වැරදි ගැහැනියක බව මම සිතන්නේ නෑ.ඒත් මට කියන්නට එක කාරණාවක් තියෙනවා.

මගේ බව සිතන හැඟෙන මිනිසුන් වෙනුවෙන් මම කිසිවක්ම නැවත බලාපොරොත්තු නොවී දේවල් ඉෂ්ට කළ ගැහැනියක්.මට ජීවිතය තුළ කළ කී කිසිවක්ම ගැන පසුතැවීමක් නෑ.ඒ මම කිසිවෙකුගෙන් දේවල් ලබා නොගත් නිසා.මම කළ දේවල් මිස ලබාගත් කිසිවක් ම නෑ.

ඒ මම හැමදාමත් කියනවා වගේ “මගේ සංසාර ගනුදෙනු වල ස්වභාවය” වෙන්නට ඇති.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles