(අ)හිමි සිහින -113

රිදුණු බිඳුණු හිතක් යළි ගොඩ නැඟීම පහසු කාර්යයක් නෙවෙයි.සුධාරක හිටියේ බිඳීමට ලක් වෙලා.ඔහුව නැවත ගොඩ නඟන්න මම කැපවීමෙන් කටයුතු කළා.ඔහු ආදරය හරිහැටි නොලැබුණු මිනිසෙක්.ඔහුගේ කුඩා කාලයේ විස්තර මම ඔබ සමඟ බෙදා ගත්තා ඔබට මතක ඇති.ඒ වගේ අතීතයක් හිමි ඔහුට විවාහයත් අසාර්ථක වීම දරා ගන්න එතරම් පහසු වුණේ නෑ.

සාමාන්‍යයෙන් පවුලක් අවුල් වෙන්නට ගත් විට මනස අවුල් වීම සාමාන්‍ය දෙයක්.එවිට එදිනෙදා කටයුතු අවුල් වීම සාමාන්‍ය දෙයක්.සුධාරකගේ රැකියාව පවා ගැටලුවලට මුහුණ දෙමින් තිබූ අතීතයක් ඔහුට හිමියි.ඒ දිල්හානි සිදු කළ මානසික පීඩා හේතුවෙන්මයි.නමුත් ඔහු ගැටලු නිමා වීම සමඟ ටිකෙන්ටික ගොඩ නැගෙන්නට පටන් ගත්තා.එනිසාම මගේ ආදරයෙන් ඔහු සුවපත් කරන්න මම කටයුතු කළා.ශාරීරිකව මානසිකව ඔත්පල වෙමින් පීඩාවෙන් සිටි සුධාරක මගේ ආදරය නිසා යළිත් සැනසීමෙන් ජීවත් වන්නට පටන් ගත්තා.

සුධාරක බොහෝ නිහඬ චරිතයක් විදියට තමයි පවුලේ අය අතර ප්‍රසිද්ධ වෙලා තිබුණේ.නමුත් ඔහු මම නිසා විනෝදකාමී චරිතයක් වුණා.ඔහු සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්නට පටන් ගත්තා. නිවාඩු දවස්වලටත් සේවා ස්ථානයටම වෙලා හිඳිමින් නිවසට එන්නට අකමැති වූ ඔහු හැම නිවාඩුවකම අප සමඟ රැඳුණා.ගමන් බිමන් ගියා.

“ඔයා නිසා අයියා වෙනස් වෙලා තියන තරමක්.මම ජීවිතේටවත් හිතුවේ නෑ එයා පාටි එකක ඩාන්ස් කරන තරමේ ජොලියෙන් ඔන්න මනුස්සයෙක් වෙයි කියලා.”

ඔහුගේ සමීප ඥාති සහෝදරියක් මට එහෙම කිව්වේ ඇගේ නිවසේ තිබූ උත්සව අවස්ථාවක.සාදයක ප්‍රිය සම්භාෂණයක දී පවා නිහඬව පැත්තකට වී සිටින්නට පුරුදු වී සිටි මිනිසෙක් වූ සුධාරක එදා බොහොම සතුටින් සැහැල්ලුවෙන් හිඳීම නෑදෑයන්ට පුදුමය දනවනසුළු සිදුවීමක් වූ හැටි මට අදටත් මතකයේ තියනවා.

“ඔයා අයියට ආශිර්වාදයක් අක්කා.මෙහෙම සතුටින් ඉන්න එක් කොච්චර දෙයක්ද?”

එදා ඒ ඥාති සහෝදරිය මගේ අත් අල්ලාගෙන එහෙම පැවසුවේ හැඟීම්බරවයි.

අපි දෙන්නා අතර තියෙන්නේ ආත්මීය බැඳීමක්.ග්‍රහචාර වගේ දේවල් වලට අපිට හානි කරන්න ඉඩ නොලැබෙන්න ඇත්තෙත් ඒ නිසාමයි.මගේ ආදරය නිසා ඔහු සතුටින් පිළිවෙලකට ජීවත් වුණා.ලස්සනට අඳින්න පළඳින්න පටන් ගත්තා.ප්‍රියමනාප වෙන්නට ගත් නිසාම තැනකට ගියාම ඔහුට පිළිගැනීමක් ලැබෙන්නට පටන් ගත්තා.නමුත් නඩුහබ සහ දිල්හානි කළ දේවල් නිසා සිදු වූ නින්දා අපහාස වලින් ඇති වූ මානසික කම්පනය ඔහුගේ ජීවිතය මත අඳුරු සෙවණැල්ලක්ව වැටී තිබුණා.දරුවන්ගේ ඈත්වීම ඔහුට මොනතරම් කම්පනයක් වෙන්නට ඇතිද?

ඒ අඳුරු මතක ඔහුට ඇති කළේ යහපතක් නෙවෙයි.මගේ සහ දියණියගේ ආදරයෙන් සුවපත් වෙමින් හිටියත් ඔහු ඒ වේදනා හිත තුළ දරා ගත් නිසා බොහෝ දේවල් සිදු වුණා.

ඒ හැම දෙයක්මත් මම ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles