(අ) හිමි සිහින -116

ගොඩනැගිල්ලක් ගෙයක් කරන්නට හැකි ආදරණීය ගැහැනියකට පමණයි.මට ඒ වගකීම පැවරෙන දවස පැමිණියා.සුධාරක ඔහුගේ වෙහෙස මහන්සියෙන් ගොඩ නැඟූ නිවස නීතිප්‍රකාරව ලබා ගත්තේ ද ඒ හා සමානව වෙහෙසක් දරමින්.ඒ ගොඩනැගිල්ල සැබෑවටම නිවසක් නෙවෙයි.අපි ඒ නිවසට යන විට එය පුදුමාකාර ලෙස ජරාජීර්ණ වී තිබුණා.ඉතාම සරල උදාහරණයක් පැවසුවහොත් ශීතකරණයේ නරක් වෙමින් තිබූ එළවළු සහ ආහාර කොටස් නිසා මුළු නිවසම දුර්ගන්ධයට ලක් වෙමින් තිබුණා.ඒවා අස්පස් කරන්නට මට බොහෝ වෙහෙසෙන්නට සිදු වුවත් ඒ වෙහෙස තුළ මට දැනුණේ ආදරය සහ සතුට මිස වෙන කිසිවක් නෙවෙයි.

“මැණිකේ.මේ යතුරු ටික ගන්න.අද ඉඳන් මේ ගේ ඔයාගේ.”

ඒ මගේ ජීවිතය මට ලබා දුන් සුන්දරම මොහොතක්.අදටත් ඒ මොහොත සිහි වෙද්දී මගේ දෑස මත තුනී තෙතමනයක් රැඳෙන තරමට ඒ මොහොත ආදරණීයයි.ඒ මට මහා විශාල නිවසක අයිතිය ලැබුණු නිසා නෙවෙයි.අගනුවරට ආසන්න නගරයක මගේ අම්මාත් තාත්තාත් මා වෙනුවෙන් තැනූ ගෙයක් තිබෙන නිසා මට කිසිම දවසක දේපල තන්හා ඇති වී නැහැ.

නමුත් මට මහත් ආදර තෘෂ්ණාවක් දැනුණා.මා මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන මිනිසා ඉතා ආදරණීය හඬකින් ඔහුගේ ජීවිතය තුළ ඇති ඉහළම දේපල මට පවරා දෙන විට මගේ හදවත මහත් සන්තෝසයකින් උතුරා යන්නට පටන් ගත්තා.ඒ යතුරු කැරැල්ල මා අත තැබීම අදටත් මට දැනෙන්නේ ඔහුගේ ජීවිතය ම මට පැවරූ මොහොතක් ලෙසයි.

ඒ විශාල නිවසේ හැම යතුරම ඇති විශාල යතුරු කැරැල්ල ඔබ මේ සටහන කියවන මොහොතේත් මගේ අත් බෑගයේ තිබෙනවා. මම එය අත් බෑගය තුළ දමාගෙන යන යන තැන රැගෙන යන්නේ ඉතාම ආදරයෙන්.මේ නිවස මම රැක බලාගන්නේ මහත් ආදරයකින්.එයට ඉතාම සංවේදි සහ ප්‍රබල හේතුවක් ද තිබෙනවා.ඒ ගැන මම ඉදිරි දවසක කියන්නම්.

සුධාරකගේ බිරිඳත් දරුවනුත් ජීවත් වූ නිවසට පැමිණ පදිංචි වීම මට සුළුපටු අභියෝගයක් නොවේ.දෙවැනි බිරිඳ හෝ අනියම් බිරිඳ ලෙස මට පදවියක් පිරිනැමෙන බව මම දැන සිටියා.

“ඔයාලා නොදන්න කොච්චර දේවල් තියනවද? මම තමයි එයාගේ පළවෙනි නෝනා.සදාකාලික ආදරය.අපිට වෙන් වෙන්න සිද්ධ වුණේ දෙන්නම ළාබාල වයසෙදි.ඒත් අපි ආයේ එකතු වුණේ අපි මරණින් මෙපිට වෙන් කරන්න බැරි නිසා.”

එසේ කෑගසා කියන්නට මට අවශ්‍ය වුණත් එය කළ හැක්කක් නෙවෙයි.ඒ නිසාම අසල්වැසියන් මට කෙසේ සලකාවිදැයි මම දෙගිඩියාවකට පත් වුණා.මම ඒ නිවසට එන්නේ සති අන්තයට පමණයි.එහෙත් මට ඔවුන් මඟ හරින්නට හැකියාවක් නෑ.

මම ඊළඟ පුදුමයට පත් වූයේ ඉන්පසුවයි!!

ඒ අසල්වැසියන් මට ඉතාම හිතවත්කමින් සලකන්නට පටන් ගත්තා.ඔවුන් මා සමඟ මිත්‍රශීලි වුණේ ඉතාම කෙටි කාලයකින්.

“දැන් තමයි මිස්ට සුධාරක සතුටින් ඉන්න බව පේන්න තියෙන්නේ.”

ඔවුන් මට එසේ පැවසූ අවස්ථා ඕනෑතරම්.ඒ විතරක් නෙවෙයි දිල්හානිගේ සමහර ක්‍රියාවන් ගැන ඒ අසල්වැසි මිතුරියන් මා සමඟ විස්තර පැවසුවා.මුහුණට මුහුණ මුණ ගැසුණද සිනාවක් වත් තිළිණ නොකරන ඇය ගැන ඔවුන් අප්‍රසාදයෙන් පසු වූ බව මට හොඳින්ම වැටහුණා.

ජීවිතයට වසන්තය උදා වෙමින් තිබුණේ ඒ අන්දමටයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles