ඔබේ නාන කාමරය ගැන ඔබ මේ දේවල් දන්නවාද?

ඕනෑම කෙනෙකුගේ සනීපාරක්ෂාව සඳහා නාන කාමරය අත්‍යවශ්‍යයි. එසේම ඕනෑම නිවෙසක ඒ වෙනුවෙන් මුල් තැනක් දීම සිරිතක්. නාන කාමරයට, එහි කෙරෙන කාර්ය අනුව හොඳ ඉඩකඩක්‌ මෙන්ම ආලෝකය හා වාතාශ්‍රය ද තිබිය යුතු තැනකි.

නාන කාමරය යනු අනෙකුත් සියලුම ස්‌ථානවලට වඩා පිරිසිදුව තබා ගත යුතු ස්‌ථානයක්. මන්ද එහි පිරිසිදු භාවය හෝ අපිරිසිදු භාවය ඔබේ ජීවිතයේ දිගුකාලීන සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපෑම් කරන බැවිනි. දිය නෑම හෝ ඇඟ සේදීම හෝ එවැනි කාර්යයක්‌ වෙනුවෙන් නාන කාමරය භාවිත කිරීමෙන් පසු ස්‌වභාවිකවම එහි ඇතුළත ආර්ද්‍රතාව ඉහළ යන අතර මේ නිසා ජල වාෂ්ප නාන කාමරය තුළ සෑම ස්‌ථානයකම පැතිරීමට පටන් ගනියි. පසුව එම ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් විශාල ජල බින්දු සෑදෙන අතර ඒවා නාන කාමරය තුළ පවතින කැඩපත්, බිත්ති සහ අනෙකුත් සියලුම ස්‌ථානයන්හි තැන්පත් වේ. වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක්‌ ඇති විට එය නිවසේ ඇතුළතට කාන්දු වීමට ද ඉඩකඩ ඇත. නාන කාමරය තුළට නිසියාකාර වාතාශ්‍රයක්‌ නොලැබීම මෙයට හේතුවයි. ජනේලයක්‌ විවෘත කර තැබුවද නාන කාමරය ඇතුළත පරිසරය වියළි තත්ත්වයට පත් වීමට සැළකිය යුතු කාලයක්‌ ගත වෙයි.

නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගැනීම සඳහා නාන කාමරය වැනි ස්ථාන පිරිසිදුව තබාගැනීම අත්‍යවශ්‍යයි. දිනපතා සුළු පිරිසිදු කිරීමක් සිදු කළත් හැකි නම් සතිපතාවත් සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමෙන් නිවසේ ක්ෂුද්‍ර ජීවීන් බෝවීම වළක්වාගත හැකියි. නිතිපතා පිරිසිදු කිරීම හා සුදුසු පවිත්‍රකාරකයන් භාවිත කිරීම පමණයි අවශ්‍ය වන්නේ.

දිනපතා මූණ සෝදන බේසම සහ වැසිකිළිය සෝදන්න. එහි ඇති සෑම දෙයක්ම පිළිවෙළකට තබන්න. සතිපතා මෙන්ම සින්ක් එක හා නාන ටැංකිය සෝදන්න. ලාච්චු සහිත රාක්කයක් ඇත්නම් එයද, වැසිකිළියද, වෙනත් දේවල මතුපිටද විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න. තුවා මාරු කරන්න. බිම අතුගාන්න නැත්නම් සෝදා තෙත මාත්තු කරන්න. මාස්පතා හැම බිත්තියක්ම හොඳට සෝදන්න. මාස හයකට වතාවක් තට්ටු සහ ලාච්චු හිස් කර පිරිසිදු කරන්න. අනවශ්‍ය හෝ පරණ වූ දේවල් ඉවත් කරන්න.

Smart කාන්තාවක්‌ නිතරම තම නාන කාමරය පිරිසිදුව හා ප්‍රසන්නව පවත්වා ගැනීමට උනන්දු වන්නේ, නිවසේ අනෙකුත් කාමරවලට දක්‌වන අවධානයම නාන කාමරයටත් දක්‌වමින්. මෙම කරුණු අනිවාර්යයෙන්ම ඔබේ වගේම ඔබ පවුලේ සෞඛ්‍ය තත්ත්වය උසස්‌ අන්දමින් පවත්වා ගැනීමට විශාල පිටුවහලක් වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles