කිරි කැටියා උවදුරු වලින් රැකගන්නා දිව ඔසුව

කිරි කැටියෙකු සිටින මවකට දරුවාගේ නිරෝගී බව පිලිබඳ නිතරම සැළකිල්ලෙන් කටයුතු කරන්නට සිදු වනවා. ඉතින් අද අප කතා කරන්නට යන්නේ කිරි සුවඳ හමන නිවසක සිටින මවකට තමාගේ ආදරණිය දරු සිඟිත්තා විවිධ රෝගයන්ගෙන් ආරක්ෂා කිරීමට සමත් ඖෂධයක් ගැනයි

රතකල්කය… මේ නම සමහර විට ඔබට ආගන්තුක නාමයක්  වෙන්න පුළුවන්. වර්තමානයේ බොහෝ දෙමාපියන් යම් යම් පාර්ශවයන් ගේ අවවාද හා රතකල්කය පිළිබඳ නොදැනුවත්කම නිසා එය දරුවන්ට දීමට මැලි වෙනවා.

රතකල්කය, දේශීය හෙළ වෙදකමේ සදහන් වන දිව්‍යමය ඖෂධයක්. එය දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල සදහන් වන්නේ, ” බිලිදුන් වදකර පැණිරස ඇතිලිය ලේවන් හිමේක බර ගනිමින් සිදුහට ගනිමින් කරිබර වූ තැන ලිකුච යුශෙන් අඹරා ගනිමින්..”ආදී ලෙසයි.

මෙය ඉතා පිරිසිදුව සාදා ගත යුතු වනවා .පිරිසිදුව සකසා ගත් රතකල්කය නියමිත මාත්‍රාවෙන් ලබාදීමෙන් දරුවන් ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු වෙනවා. ඒ නිසා බැක්ටීරියා ආසාදන වෛරස් ආසාදන වගේම  සමේ රෝග පණු රෝග ආදියෙනුත් දරුවන් මුදවා ගැනීමේ හැකියාවක් රතකල්කය සතු වෙනවා. වර්තමාන වෙළෙඳපොළේ පිරිසිදුව සකසා ගත් රතකල්කය ලබාගැනීමේ හැකියාව නම් ගැටලු සහගත තත්ත්වයක්. එහිදී පිලිගත් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ සහය ලබා ගැනීම ඉතාම වැදගත්.

නිරෝගී දරුවන් සදහා රතකල්කය ලබා දීම දරුවා ඉපදී අවුරුදු 7ක් දක්වා කල හැකියි. රෝගි දරුවන් සදහා නම් වෛද්‍ය උපදෙස් අනුව ලබා දිය යුතුයි. දරුවාට මව්කිරි පමණක් ලබාදිය යුතු කාලය ක්ශීර කාලය ලෙස ආයුර්වේදයේ දැක්වෙනවා. එම කාලයේදී රතකල්කය මව්කිරි සමග ලබාදිය හැකියි.මවගේ තනපුඩුවේ රතකල්කය ආලේප කොට මව්කිරි ලබා දෙන්න පුළුවන්.

දරුවාට හැන්දකින් පෙවීමේ හැකියාව ඇත්නම් රතකල්කය කොත්තමල්ලි ඇටයක තරමට මව්කිරි තේ හැන්දක දිය කොට ලබා දිය හැකියි.

දරුවාට අවුරුද්දකට පසු වෙනත් ආහාර ලබා ගන්නා කාලයේදී ගම්මිරිස් ඇටයක ප්‍රමාණය කොත්තමල්ලි තැම්බූ වතුරෙන් ලබා දෙන්න පුළුවන්. දරුවා නහවා පිරිසිදු කොට උදේ වරුවේ රතකල්කය ලබා දීම වැදගත්. ඒ ඖෂධය ලබාදීමෙන් පසු නැහැවීම නිසා ජීර්ණ අපහසුතා ඇතිවිය හැකි නිසාවෙන්.

වඩා වැදගත් වන්නේ පිරිසිදුව සකසා පිරිසිදුව අසුරා ඇති ඖෂධය ලබා දීමයි. එසේ ලබා දෙන විට පිරිසිදු රෙදිකඩකින් පෙරා දීම වඩා යෝග්‍යයි. රතකල්කය ඇසිරීම කල යුත්තේ වීදුරු බදුනකයි. එහි මූඩියද වීදුරු වීම සුදුසුයි. වීදුරු නොවන විශේෂයෙන් යකඩ මූඩි භාවිතා කර ඇති විට කට පොලිතීන් වැනි ආවරණයකින් ආවරණය කල යුතුයි.

රතකල්කය යනු පර්යේෂණ වලින් එහි ගුණාත්මක භාවය ලෝකය හෙලි කල ඖෂධයක්. ඒ බැවින්  මිත්‍යා මත වලට රැවටෙන්න අවශ්‍ය නැහැ . ඒ වගේම වෛද්‍ය උපදෙස් සමඟ භාවිතා කිරීමට අමතක කරන්නත් එපා.

Related Articles

Don't Miss


Latest Articles