මේ නිවාඩුකාලේ ආරුගම්බේ යමුද?

නිවාඩු කාලෙට මූදු හුළං ටිකක් වැදුනා නම් හොඳයි නේද? ආරුගම්බේ පාසල් නිවාඩු කාලයේ ඔබට චාරිකාවක් යෑමට සුදුසුම තැනක්. බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ආරුගම්බේ වෙරළ තීරයට පැමිණෙන්නේ දියමත ලිස්සා යෑමේ ක්‍රීඩා සඳහා ලෝකයේ වඩාත් උසස්ම තත්ත්වයෙන් යුත් වෙරළ තීරයක් වන හෙයිනි.

කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයක් වන ආරුගම්බේ ලොව පුරා ප්‍රචලිත වී ඇත්තේ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් හෙයිනි. දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මෙනිසාය. මේ වන විට දෙශීය සංචාරකයන්ද surfing ක්‍රීඩාවට යොමු වී ඇත.  ආරුගම්බේ වෙරළෙහි ඇති අපූරත්වයට හේතු වනුයේ නොගැඹුරු මුහුදත් එහි අලංකාරවූ පරිසරයත්ය. ආරුගම්බේ වෙරළෙහි සුන්දරත්වය විඳ ගන්නට කැමැත්තෙන් සිටිනවානම් ඒ සඳහා සුදුසුම වේලාව සවස්වරුවයි. මන්ද නැගෙනහිර ප්‍රදේශයේ පවතින අධික රස්නය හා හිරු රැසින් ආරක්ෂා විය යුතු හෙයිනි.

සවස්වරුවේ හිරු බහිනවත් සමග වෙරළ තීරයට එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක්. එමෙන්ම රාත්‍රී කාලයේ ද වෙරළ තීරයේ සංචාරකයන්ගෙන් අඩුවක් නැත. වෙරළ ආශ්‍රිතව නවාතැන් ගැනීමට හෝටල් පහසුකම් ඇති අතර මෙම සුන්දර වෙරළ තීරයේ කුඩාරම් අද්දැකීමක් ලබන්නට ද දැන් අවස්ථාව ඇත. රාත්‍රී කාලයේ මෙම තීරයේ ගිනිමැලය වටා ඔබේ පවුලේ අය සමඟ විනෝද වෙන්නටද අවස්ථාව තිබෙනවා. සංචාරකයන් බහුල නිසාම මෙම ප්‍රදේශයේ සොරුන්ගේද අඩුවක් නැති හෙයින් වෙරළ තීරයට වටිනා බඩු භාණ්ඩ රැගෙන යාමෙන් වළකින්නත් මතක තබාගන්න.

අරුගම්බේ කලපු ආශ්‍රිතව කඩොලාන විශේෂ රැසක්‌ දක්‌නට ලැබේ. මෙම කලපු ආශ්‍රිතව වෙසෙන ජීවීන් අතර ඉස්‌සන්ට සුවිශේෂී තැනක්‌ හිමි වෙයි. යාල නැගෙනහිර ජාතික වන උද්‍යානය වෙත ඇති එකම පිවිසුම් මාර්ගය අරුගම්බේ ආශ්‍රිතව ඇති අතර මෙනිසා ආරුගම්බේ යන ගමන් යාල ජාතික වනෝද්‍යානයට යන්නත් පුලුවන්. මෙවර නිවාඩු කාලයේ දී පවුලේ කට්ටියත් එක්ක අරුගම්බේ සවාරියක් ගියොත් හොඳයි නේද?

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles