බබාට සෙල්ලම් බඩු ගොඩක් ගන්නවාද? එසේනම් මේ ගැනත් සිතන්න

පුංචි දරුවන් සෙල්ලම් බඩුවලින් ලබා ගන්නේ නොමඳ ආශ්වාදයක්‌. ළදරු අවධියේ දරුවාගේ කායික හා මානසික වර්ධනය සඳහා සෙල්ලම් බඩු බෙහෙවින් උදව් වන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි.

දරුවාගේ නිර්මාණ කුසලතාවය වර්ධනය කර ගැනීමට මේ සෙල්ලම් බඩු උදව් වෙනවා. හැඩතල පැහැය හඳුනා ගැනීමටද පරිකල්පනය අවධිකිරීමට ද කුඩා ක්‍රියාකාරකම් සඳහා ද සෙල්ලම් බඩු උදව් වෙනවා. රැකියාව සඳහා පාන්දරින්ම ගෙදරින් පිටවන දෙමාපියන්ගෙන් ගිලිහෙන සෙනෙහස ආදරය පාළුව මකා දමන සෙල්ලම් බඩු ඔවුන්ට තනි රකිනවා.

දරුවෙකුට සෙල්ලම් බඩු ලබා දී ඔවුන්ගේ “කරදරයෙන්” මිදීමට හෝ අනියම් ලෙස ඔහුගේ ආදරය ලබා ගැනීමට සූදානම් වීම නම් එතරම් නුවණක්‌කාර දෙයක්‌ නොවෙයි. එය අල්ලසක්‌ දීම වැනි අමනෝඥ ක්‍රියාවකි‌. සෙල්ලම් බඩුවේ අවසානයත් සමග ඒ ආදරයත් අවසාන වන බව වටහා ගැනීම වැදගත්. තුවක්‌කු පිස්‌තෝල වැනි දරුවාගේ මනස විකෘත කරවන දේත් ක්‍රියා කරවීම ඉතා සංකීර්ණ වන සෙල්ලම් බඩුත් කුඩා දරුවන්ට ලබාදීම සුදුසුවන්නේ නැහැ.

සෙල්ලම් බඩුවක්‌ යනු පිළිවෙලට, අලංකාරයට බැලීමට පමණක් තබන්නක් නොවන අතර එය දරුවාගේ මනස යහපත් ලෝකයක්‌ දෙසට යොමු කරවන ඉගෙනුම් උපකරණයන්වේ. එමෙන්ම විශාල වියදමක්‌ දරා ගෙනෙන සෙල්ලම් බඩුවක්‌ කෙටි කාලයකින් ඔහු ඉවත දමන බව ඔබ දැක ඇති. සෙල්ලම් බඩුව තමා අතට පත් වුණාට පසුව එයට ඇති උපයෝගීතාව ක්‍රමයෙන් පහත බසින්නට පටන් ගැනෙනවා. එපමණක් නොව සෙල්ලම් බඩුවලට ඇබ්බැහි වීමත් මවුපියන්ට පසුකලකදී තර්ජනයක්‌ වීමට ඉඩ තියෙනවා. එදිනදා කුඩා කරුණක්‌ ඉටුකිරීමටත් ඔවුන් සෙල්ලම් බඩු ඉල්ලන්නට පටන් ගනිවී.

දරුවාට සෙල්ලම් බඩුවක්‌ ගෙන දීමේදී අනිවාර්යයෙන්ම ඉහතකරුණු සැලකිය යුතු වනවා. එනිසා ඉතා අවබෝධයෙන් සහ සැලකිල්ලෙන් ඔබේ පොඩිත්තාට අවශ්‍ය කරන සෙල්ලම් බඩු ලබා දෙන්න කටයුතු කරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles